ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය බලගැන්වීමට ජාතික සමුළුවක්

ශ්‍රී ලංකාවේ  ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය බලගැන්වීමට ජාතික සමුළුවක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශය ශක්තිමත් කිරීමට සංවිධානය කළ ජාතික සමුළුවක් අද (10) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සංවිධානය කළ මෙම සමුළුවේ තේමාව “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) බලගැන්වීම, අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත” යන්නයි.

මෙම සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන MSME අංශය මුහුණ දෙන අභියෝග, එම අංශයේ තිරසාර සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය හා ආයතනික සහාය, තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ දිගුකාලීන වර්ධනයට අදාළ උපායමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ වන විට 3.2% ක් වන ලංකාවේ ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වන විට තුන් ගුණයකින් වැඩි කර 10% ක් දක්වා ගෙන ඒම තම අමාත්‍යාංශයේ අරමුණ බව පැවසීය. ඒ සඳහා කර්මාන්ත ක්ෂේත්‍ර 27 ක් සමග අමාත්‍යාංශය කටයුතු කරන බවත්  වර්තමානයේ  විශ්ව විද්‍යාල වලින් උපාධිධාරීන් ලෙස පිටවන ශිෂ්‍යයින්ගෙන්  කර්මාන්ත ක්ෂේත්‍රයට ලැබෙන දායකත්වය ඉතාම අවම මට්ටමකයි පවතින බවද සඳහන් කළේය.

ඉදිරියේදී අධ්‍යාපනයේ විවිධ මට්ටම්වලදී ශිෂ්‍යයින් කර්මාන්ත ක්ෂේත්‍රය වෙතට යොමු කරවීමටත් ඔවුන්ට මේ පිළිබඳව ලබාදෙන ප්‍රායෝගික අධ්‍යාපනය වැඩි කිරීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසුවේය. 

මෙම සමුළුවේදී , පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ NEDA එක්ව මධ්‍යම පළාතේ MSME ව්‍යවසාය 1,000ක් ආවරණය කරමින් සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵලද ඉදිරිපත් කෙරිණි. එමගින් MSME අංශයේ මූල්‍ය තිරසාරභාවය, ව්‍යාපාර පැවැත්මේ හැකියාව සහ ආර්ථික අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය.

ව්‍යවසායකත්වය සහ MSME තිරසාරභාවය ඇතුළුව MSME සංවර්ධනයට අදාළ ප්‍රධාන ගැටළු ගවේෂණය කර සකස්කරනු ලද “ශ්‍රී ලංකාවේ MSME බලගැන්වීම, අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත” ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහිදී සිදු විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ NEDA එක්ව සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකා ව්‍යවසාය පරිසර දර්ශකය (SLECI) ද එළිදැක්වූ අතර එමගින් දිස්ත්‍රික්ක අතර MSME ව්‍යවසාය සඳහා මූල්‍ය, වෙළඳපොළ, තාක්ෂණය, කුසලතා සහ ආයතනික සහාය ලබාගැනීමේ විෂමතා හඳුනාගැනීමට හැකිවනු ඇත.

මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියයේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, විශ්වවිද්‍යාල පර්යේෂණ සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ඒකනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල, මහාචාර්ය අතුල ඒකනායක, කොළඔ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, ප්‍රතිපත්ති සම්පාදකයින්, විද්වතුන්, සංවර්ධන වෘත්තිකයන්, කර්මාන්ත නායකයින්, මූල්‍ය ආයතන සහ ව්‍යවසායකයින් රැසක්‌ සහභාගි වූහ.