සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනය අද (10) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගය රජය ඉතාමත් කෙටි කාලයක් තුල සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු රැසකට විසඳුම් ලබා දීමට කටයුතු කළ බවයි. ඒ අතර විශ්‍රාම වැටුප් ගැටළුව, වැටුප් අධිභාරය සම්බන්ධ ගැටළුව, වැටුප් කේත සම්බන්ධ ගැටළුව සහ ප්‍රශ්නගත සේවකයන් සම්බන්ධ විමර්ෂණ කඩිනම් කර ඒවාට විසඳුම් ලබාදීම ආදිය ඒ අතර ප්‍රධාන වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පසුගිය රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවක මහත්ම මහත්මීන් දේශපාලන කටයුතු සඳහා යොදා නොගත් බවත් රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය ලැබෙන අයුරින් සේවය කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කර ඇති බවත් ඒ මහතා පැවසුවේය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල සේවයක් කරමින් සිටින බැවින් කිසිදු ආකාරයකින් විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නොමැති බවත්, එය ඉතාමත් ශක්තිමත්ව, ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. සේවක උසස්වීම් පටිපාටිය මේ වසර තුළ අවසන් කිරීමට අධ්‍යක්ෂ ජනරාල්වෙත උපදෙස් ලබා දී ඇති බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිළධාරීන්, සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ නිලධාරීන්, සාමජික සාමාජිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


