මෙරට ධීවර නිෂ්පාදන බෙදාහැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ මත්ස්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ අරමුණින් ජපන් රජය විසින් පිරිනමන ලද අධිශීත (Freezer) ට්‍රක් රථ 06ක් අද (10) ලංකා ධීවර සංස්ථාව වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio ISOMATA මහතා විසින් එම ට්‍රක් රථ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
මෙම ප්‍රදානය ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන මිත්‍රත්වය හා සංවර්ධන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.
ජපන් රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ලබාදෙන අඛණ්ඩ සහාය ද මෙමගින් යළිත් තහවුරු වේ.
නව අධිශීත ට්‍රක් රථ සේවයට එක්වීමත් සමඟ මෙරට ධීවර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සුරකිමින් ඒවා වඩාත් කාර්යක්ෂම හා විධිමත් ලෙස බෙදාහැරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


