අමෙරිකාව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත පැනවූ අන්‍නෝන්‍ය තීරු බදු ප්‍රතිශතය සියයට 20 දක්වා අඩුකර ගැනීමට හැකිවීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් බව මුදල් සහ ක්‍රම සමස්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූර්යප්පෙරුම මහතා පවසයි.
ලේකම්වරයා මේ බව පැවසුවේ ,තීරු බදු ප්‍රතිශතය අඩුකර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
විශේෂයෙන් ශ්‍රි ලංකාව මෙම සාකච්ඡා පවත්වන්නේ IMF සිමා රාමුවක වැඩකරන වාතාවරණයක බව පැවසු හෙතෙම ශ්‍රි ලංකාව මේ ලබා ගත් බදු ප්‍රතිශතය, තවත් ශක්තිමත් කර ගැනීමට සහ මෙම ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකිනම් ඒ සඳහාද තවදුරටත් විමසමින් සිටින බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් ලේකම්වරයා පැවසුවේ මෙය තනි ජයග්‍රහණයක් නොවන බවයි. මේ සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතා සෘජුව මැදිහත් වූ බවත් තීරු බදු පැනවූ වහාම මෙම කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් පත් කළ බවයි.
ඇඟළුම් , රබර් වැනි නිෂ්පාදන අපනයනයේදී කලාපයේ ඇති අනෙක් රටවල් සමඟ තරඟකරමින්,අමෙරිකානු රජය සමඟ සම්බන්ධවෙමින්, මෙම සාකච්ඡා සහ අදහස් තව දුරටත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා පැවසීය.
මහ බැංකු අධිපති ,ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව මහතා , වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් විමලේන්ද්‍ර රාජා මහතා සහ එක්සත් ජනපදයේ සිටින ශ්‍රි ලංකා තානාපති මහින්ද සමරසංහ මහතා මෙම සාකච්ඡා සඳහා එක් වූ බවත් අවශ්‍ය පිරිස සම්බධිකරණය කර ඉතාම අපහසු අවස්ථාවක දි ලංකාවට අවශ්‍ය කරන සාකච්ඡා ඇමරිකාවේ වෙළෙඳ නියෝජිතයින් සමඟ ලබා ගැනීමට කටයුතු කළ බවද පැවසීය.
එම උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස මෙම තීරු බදු සම්බන්ධයෙන් ඉතාම හොඳ සංධිස්ථානයකට ඒමට හැකි වූ බවද හෙතෙම පැවසිය.
රටවල් අතර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡාවල තීරණ ගැනීමට වසර ගණනාවක් ගතවන බවත් ඉතාම වෙහෙසකර ක්‍රියාමාර්ගයක් වුවද මෙම තීරු බදු සම්බන්ධ සාකච්ඡාව දින 90ක් වැනි කෙටි කාලයක් තුළදී සාර්ථක වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
සීමිත කාලසීමාවක් තුළ ලබා ගත් මෙම ජයග්‍රහණය සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් මහන්සි වී වැඩ කළ බවත් , ආයෝජකයන්, ව්‍යවසායකයන් ඇතුලු බොහෝ පිරිස්වලින් මේ සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබා ගත් බවද කීය..
කලාපයේ ඇති අනෙකුත් රටවල් සමග ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ තරඟ කරමින් අපේ වෙළඳපල වටිනාකම පවත්වා ගැනීමට හැකියාව ලබා දිමත් මෙහිදී බලාපොරොත්තු වූ බවද පෙන්වා දුන්නේය.
ලංකාව පමණක් නොව තවත් රටවල් ගණනාවක් ද මෙම සාකච්ඡා සමඟ එකතු වන බවත්, සාකච්ඡාවලට බාධා නොවන්නට මෙහි සාකච්ඡා වන කාරණා සම්බන්ධයෙන් රහස්‍යභාවය රකින්නට අවශ්‍ය බවද සඳහන් කළේය.


