බුදු දහම රකින සඟ පරපුරක් නිර්මාණය කිරීම පිරිවෙන් අධ්‍යාපනයේ කාර්යභාරයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. වර්තමාන ලෝකය තුළ අපේ ස්වාමීන්වහන්සේලා වෙත පැවරිලා තියෙන ඒ සුවිශේෂී කාර්යය භාර්ය මැනවින් ඉෂ්ට කරන්න පුළුවන් විදිහේ අධ්‍යාපනයක් පිරිවෙන් අධ්‍යාපනය තුළ ගොඩ නගන බවද ඇය සඳහන් කළාය.
පිරිවෙන් අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් පවතින බවත් එම ඉතිහාසය සහ සම්ප්‍රදාය රැකගනිමින් ලෝකය තුළ ස්වාමීන් වහන්සේලා වෙත සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවී ඇති බව හා එම කාර්යය මැනවින් ඉටුකිරීමට අවශ්‍ය පිරිවෙන් අධ්‍යාපනයක් ගොඩනැගීම අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද(30) පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයෙන් අනුමත නවක පරිවේණාචාර්ය පත්වීම් ලිපි ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවාය.
මෙහිදී පරිවේණාචාර්යවරුන් 273 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ,
"අද දවසේ අපේ ස්වාමීන්වහන්සේලාට බුද්ධාගම තුළ පැවරිලා තියෙන්නේ විශේෂ කාර්යය භාර්යයක්. සාම්ප්‍රදානුකූලව, චාරිත්‍රානුකූලව කරගෙන ආපු ඒ වැඩ කොටස, ඒ විශාල සේවය වගේම අද අපි ලෝකයටම විවෘත වෙලා තියෙනවා. බුදුදහමේ ඉගැන්වීම්, දර්ශනය හා එහි අන්තර්ගතය පිළිබඳ ලෝකයම අවධානයෙන් ඉන්නේ.
එනිසා අපේ ස්වාමීන්වහන්සේලා ලෝකය සමග සම්බන්ධ වෙන්න ඕනේ. ලෝකය තුළ අද සිදුවන වෙනස්වීම් හා සමාජ ආර්ථික තත්ත්වයන් තුළ බුදුදහමේ කාර්යභාර්ය වෙනදාටත් වඩා සුවිශේෂී සහ අත්‍යවශ්‍යයි.
ඒ සන්දර්භය තුළ අපි මොන වගේ ගුරු භවතුන් මොනවගේ පිරිවෙන් අධ්‍යාපනයක් ද නිර්මාණය කළ යුත්තේ කියන එක ගැන අපිට හොදින් සිතන්න වෙනවා සහ එය අපේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් රැක ගන්නා අතර අදට ගැලපෙන ඒ භික්ෂූන් වහන්සේලාට පැවරෙන විශේෂ කර්යාභාරයටත් අපි සූදානම් විය යුතුයි.
ඔබවහන්සේලා සියලුදෙනාට සුවිශේෂී අභියෝගයක් තියෙනවා. ඉගැන්වීම පමණක් නෙමෙයි අපේ බුදු දහම රකින ඒ සංඝ පරපුර නිර්මාණය කරන එක සුවිශේෂී කාර්යභාරයක්. බුදුදහම තුළ උගන්වන ඒ දර්ශනය තුළ පවතින ප්‍රායෝගික බව, විනය, ශික්ෂණය කියලා දෙන එක විතරක් නෙමෙයි ඒක අපේ ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නත් වෙනවා. එහිදී දැනුම සහ අධ්‍යාපනයට එහා ගිය වගකීමක් ඔබ වහන්සේලා සියලු දෙනාටම තියෙනවා.
මේ වෙනකොට විශාල කතාබහකට ලක් වෙන ඒ අපේ අධ්‍යාපන ක්‍රමය, පරිවර්තනයකට අපි භාජනය කරන්න සූදානම් වෙන මොහොතේ ඒක කොහොමද පිරිවෙන් අධ්‍යාපනයටත් ගලපා ගන්නේ කියන එක ගැන අපට යම් සංවාදයක් සාකච්ඡාවක් අවශ්‍ය වෙනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.
මෙම අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ රාජකීය පණ්ඩිත ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.


