ලෝකය තුළ උද්ගතවන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගතයුතුයි යන හැඟීම රජය සතුව පවතින බවත්, අධ්‍යාපනයේ වටිනාකම හොඳින් අවබෝධ කරගත් රජයක් ලෙස විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් රටේ මානව සම්පත සංවර්ධනය සඳහා අයවැය ප්‍රතිපාදන ඔස්සේ විශාල මුදලක් යොදවා ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ගාල්ල, දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයෙහි තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් 2026.06.13 දින පැවැත්වුණු සමාරම්භක උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා ය.
මෙහිදී දඩල්ල ප්‍රදේශයේ ගම්වාසීන් විසින් ගාල්ල අල්-මුබාරක් විද්‍යාලය සඳහා ඉදිකරන ලද මෙම තෙමහල් ගොඩනැගිල්ල නිල වශයෙන් පවරාදීම සංකේතාත්මකව සනිටුහන් කරමින් "vision 2030" සංගමයේ සභාපතිතුමා හා අග්‍රාමාත්‍යවරිය අතර යතුරු හුවමාරු කිරීම සිදුවිය.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මෙසේද කියා සිටියාය.
පාසල ගමට ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් තිබිය යුතු තැනක්.මෙතන අපි දැක්කා පාසල ගැන ගමේ ජනතාවගේ සිත් තුළ තියෙන හැඟීම. අඩු සම්පත් ප්‍රමාණයක් තිබුණු පාසලක් ගමේ දරුවන් වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ අදිටනින් ප්‍රදේශවාසීන් සියලුදෙනාම එකතුවෙලා එම පාසල ගොඩනගන්න එකතුවීම ඇත්තෙන්ම මුළු රටටම ලබාදෙන විශිෂ්ට ආදර්ශයක්.
ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අපේ දරුවන්ට ලෝකේ තියෙන අලුත්ම තාක්ෂණය ළඟාකරදීමේ අධිෂ්ඨානයක ඉන්නවා. ඒ නිසා තමයි සියලුම ද්විතීයික පාසල් සඳහා අවම වශයෙන් එක smart board එකක් හරි ලබාදෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම පාසල්වලට අවශ්‍ය අන්තර්ජාල පහසුකමුත් මේ වනවිට පාසල් 4000කට පමණ ලබාදීලා තියෙනවා. ඉතිරි පාසල් සඳහාත් මේ වසර අවසානයට පෙර අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පොරොන්දුවෙලා තියෙනවා.
හැබැයි තාක්ෂණය කියන්නේ නිවැරදි දේ දරුවන්ට ලබාදීම සඳහා භාවිතා කළයුතු මෙවලමක්. ඒ නිසා තමයි තාක්ෂණික අන්තර්ගතය දියුණු කිරීම සඳහා ගුරු පුහුණු, සම්බන්ධිත පන්තිකාමර වැනි වැඩසටහන් අප සංවිධානය කරන්නේ. රටක් විදියට අපට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය මානව සම්පත අප ගොඩනඟමින් යන්නේ. අප ඉලක්ක කරන මට්ටමට රට ගොඩනැගෙනතුරු අපට පුළුවන් තාක්ෂණය හරහා දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න.
අපගේ රටේ ආර්ථිකය ගොඩනගමින් යන මේ මොහොතේ කුමන තත්ත්වයකදී වුණත් අධ්‍යාපනය අප රැකගතයුතුයි යන අධිෂ්ඨානය තුළ රජයක් ලෙස අප වැඩකරනවා. අපේ රටේ සංවර්ධිත ඉලක්ක ළඟාකරගන්න නම් සියලුදෙනා කැපවීමෙන් වැඩකරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයට විතරක් නෙමෙයි රටක් හදන්නෙත් මෙහෙමයි. රටක් හදන්නත් පුරවැසියන් හැටියට රජය, නිලධාරීන්, දේශපාලන අධිකාරිය යන සියලුදෙනාම එකට එකතුවී එක ඉලක්කයක එක ගමනක් හැටියට යන්න පුළුවන්නම් අපිට කරන්න බැරිදෙයක් නෑ කියන එක මේ දඩල්ල ප්‍රදේශයේ ගම්වාසීන් අද ඔප්පුකරලා තියෙනවා.
මෙහිදී අදහස් දක්වමින් ගරු වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා ප්‍රකාශ කර සිටියේ; අධ්‍යාපනයට වැඩි අවධානයක් ලබාදෙන රජයක් ලෙස, රට ගොඩනැගීමටනම් දියුණු කළයුතු ප්‍රධානතම සම්පතක් ලෙස මානව සම්පත දියුණු කළයුතු බව විශ්වාස කරන බවයි. ඒ සඳහා අග්‍රාමාත්‍යවරියගේ මඟපෙන්වීම යටතේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ නව පරිවර්තනීය වෙනසක් ඇති කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් අධ්‍යාපන බලධාරීන්, ප්‍රදේශවාසීන් මෙන්ම දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් සහභාගී වූහ.


