දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන භාවිතය වැළැක්වීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල බලගැන්වේ

දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන  භාවිතය වැළැක්වීමට සෞඛ්‍ය කාර්ය  මණ්ඩල බලගැන්වේ
  • SocialShare:

දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන  භාවිතයට  යොමුවීම වැළැක්වීම හා භාවිත කරන්නන් මුදා ගැනීමට  "කෙටිකාලීන මැදිහත්වීම"මනෝ විද්‍යාත්මක ප්‍රවේශය සඳහා සෞඛ්‍ය කාර්ය  මණ්ඩල බලගැන්වීමේ පුහුණු වැඩසටහන් ඇරඹේ.

දුම්කොළ හා දුම්කොළ නිෂ්පාදන  භාවිතයට  යොමුවීම වැළැක්වීම හා භාවිත කරන්නන්  මුදා ගැනීම සඳහා  "කෙටිකාලීන මැදිහත්වීම"මනෝ විද්‍යාත්මක ප්‍රවේශය සඳහා සෞඛ්‍ය කාර්ය  මණ්ඩල බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ,වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය පවසයි.  මෙම කෙටි කාලීන මැදිහත් වීම (Brief Intervention ) මනෝ විද්‍යාත්මක ප්‍රවේශය සම්බන්ධයෙන් විශේෂ වැඩමුළු මාලාවේ පළමුවැන්න ජූනි 15 දින  පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය  ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.  මෙහි ප්‍රධාන සම්පත් දායකයා ලෙස මනෝ වෛද්‍ය විශේෂඥ  ප්‍රභාත් වික්‍රම මහතා එක්වෙයි.

විනාඩි කීපයක්තුල  දුම්කොළ භාවිතයේ  හානිය  සම්බන්ධයෙන් පුද්ගලයෙකු දැනුවත් කර ඔහු හෝ ඇය තුල දුම්කොළ භාවිතය පිටු දකින චර්යාත්මක වෙනසක්  සිදු කිරීමේ හැකියාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබා දීමේ මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ලෙස මෙම  පුහුණුව හැඳින්විය හැකි බවද බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂවරිය පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ,සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  හා පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනීන් ඇතුළු ක්ෂේත්‍ර සෞඛ්‍ය කර්ය මණ්ඩලය මේ පුහුණුවට එක් වෙති.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය, මනෝ වෛද්‍ය විශේෂඥ වරුන්ගේ සංගමය , මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ( ADIC ) ආයතනය  හා කොළඹ දිස්තික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය එක්ව මෙම පුහුණු වැඩමූළුව සංවිධාන කරයි.මෙම වැඩමුළුවේ දෙවැන්න ජූනි 16 වැනිදා  පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බවද අලහප්පෙරුම මහත්මිය කියයි.