වයඹ පළාතේ සංචාරක ක්ෂේත්‍රය සඳහා මානව සම්පත පුහුණුු කිරීම සම්බන්ධයෙන් අවධානය

වයඹ පළාතේ සංචාරක ක්ෂේත්‍රය සඳහා මානව සම්පත පුහුණුු කිරීම සම්බන්ධයෙන් අවධානය
  • SocialShare:

වයඹ පළාතේ සංචාරක ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය මානව සම්පත ප්‍රවර්ධනය සඳහා රජයේ අවධානය යොමුව ඇතැයි වයඹ සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ නාලක කුමාර මහතා පැවසීය.

වයඹ පළාතේ සංචරක හා සංස්කෘතික ප්‍රවර්ධනය සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
සංචාරක ක්ෂේත්‍රය සඳහා සුදුසු මානව සම්පතේ හිගතාවයක් ඇති බවත්, ඒ සඳහා හෝටල් පාඨමාලා ඇතුළු පාඨමාලා රැසක් මේ වන විට ආරම්භ කර ඇතැයිද ඒ මහතා පැවසීය.
වයඹ පළාතේ වෘත්තීය පුහුණු අධිකාරිය විසින් එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. සංචාරක ගමනාන්ත සඳහා අවශ්‍ය යටිතළ පහසුකම් නැංවීමේ වැඩපිළිවෙළක් සහ මෙතෙක් හඳුනා නොගත් සංචාරක විභවතාවයන් ඇති ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා රජයේ අවධානය යොමු වී තිබේ. සංචාරකයන්ට ගැළපෙන පරිදි භාණ්ඩ නිෂ්පාදනය සඳහා ශ්‍රමිකයින් නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන්ද කටයුතු කරන බවද කීය.
විශේෂයෙන්ම රාජධානී, විවිධ සංස්කෘතික ස්ථාන, මුහුදු වෙරළ ආදී සංචාරක අකාර්ශනය දිනා ගතහැකි ස්ථාන රැසක් වයඹ පළාතේ ඇතැයි පෙන්වා දුන් ඒ මහතා , ගොඩබිම සහ ජලයේ ජීවත් වන විශාල සත්වයින් පස්දෙනෙකු එකවර නැරඹීමේ අවස්ථාව සහිත ශ්‍රී ලංකාවේ එකම පළාත, වයඹ පළාත වන බවද පෙන්වා දුන්නේය.
වර්තමානයේදී සංචාරකයන්ගේ පැමිණීම ක්‍රියාකාරකම් පදනම් කරගනිමින් මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රවණතාවයක් ඇති බවත් ඔවුන් වෙනුවෙන් විවිධ අවස්ථා මෙම ප්‍රදේශයේ නිර්මාණය කළ හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම සර්ෆින් ක්‍රීඩාව සඳහා මෙම ප්‍රදේශයේ සංචාරයින් අතර ප්‍රසිද්ධියක් උසුලන බැවින් එවැනි අවස්ථා තවදුරටත් පුළුල් කළ හැකිබව ඔහු පෙන්වා දුන්නේය.