යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් විෂයමාලා ප්‍රතිසංස්කරණය පමණක්  නොව ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම සඳහායි

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් විෂයමාලා ප්‍රතිසංස්කරණය පමණක්  නොව ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම සඳහායි
  • SocialShare:

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවළිය හුදෙක් විෂයමාලා ප්‍රතිසංස්කරණය පමණක් නොව දරුවාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විභාගය සමත් අසමත් බව මත අපි අධ්‍යාපනය මැනීමට පුරුදු වී ඇති බවත් ,  එම ක්‍රමය වෙනස් කිරීමට මොඩියුල ක්‍රමය හඳුන්වා දී ඇති බවත් , ඒ තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් දැනුවත් කිරීම සඳහා අද (23)ඉසුරුපාය අධ්‍යාපන ,උසස් අධ්‍යාපන  වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක්වෙමින් අගමැතිවරිය    මෙම අදහස් පළකළාය.

විභාගයේ සමත් අසමත් බව මත අධ්‍යාපනය මැනීමට හුරු වී ඇති බවත්, එම ක්‍රමය  වෙනස්  කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල ක්‍රමය හඳුන්වා දී ඇතැයිද අගමැතිවරිය සඳහන් කළාය.

පවත්නා අධ්‍යාපන ක්‍රමය මෙන්ම විභාග ක්‍රමය දරුවන්ට බරක්වන බවත් මෙයවෙනස් කිරීමට මෙම ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවත් ඇය වැඩිදුරටත් පෙන්වාදුන්නාය. මෙතෙක් දරුවන් පුහුණු කර ඇත්තේ විභාග ක්‍රමය සදහාවන බවත් ඇය ප්‍රකාශ කළාය. මොඩියුල හරහා  ගුරුවරයා සහ දරුවන් අතරවන සබදතාවය වැඩිවනබවත්  ඒ සඳහා ක්‍රමයට දරුවන් ක්‍රමයෙන් අනුගත විය යුතු බවද ඇය පැහැදිළි කළාය.

එහිදී, මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරිය,

   " අපි පුරුදු වෙලා තියෙන්නේ ගුරුවරු දෙමව්පියෝ වගේම ළමයිනුත් විභාගෙකට සූදානම් වෙන අධ්‍යාපන ක්‍රමයකටයි. නමුත් මේ මොඩියුල ක්‍රමයේදී  විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ළමයි ඉගෙන ගැනීමට යොමුවන අතරෙම, ඇගැයීමටත් ලක්වෙනවා.

   නව විෂය නිර්දේශය අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක කිරීමට නියමිත  2029 වර්ෂයේ දීය. 2026 සිට මෙය අපි ක්‍රියාත්මක කරන්නේ 1 ශ්‍රේණිය සහ 6 වෙනි ශ්‍රේණියට පමණයි.  අපිට මේ ක්‍රමය නිරීක්‍ෂණය  කරන්න අවුරුදු 03ක් තියෙනවා. එහිදී මුහුණ දෙන්න වෙන තත්ත්වයන් සහ අවශ්‍යතා එක්ක අපිට පුළුවන් මේ ක්‍රමයේ අවශ්‍ය වෙනස්කම් කරන්න. අපි කොහෙදිවත් කියලා නෑ  මේ ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ අවසානාත්මකයි කියලා. අවස්ථානුකූලව එය වෙනස් කරන්න අපි  බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබටත්  ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්.

   පන්ති කාමරය තුළ ළමයින් 25 - 30 දක්වා අඩු කරන්න අවශ්‍යයි. දැනට පන්ති කාමරයක ළමයි 40 ඉක්මවලා ඉන්න පන්ති කාමරත් තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ නියමිත සිසුන් ගණනට වඩා සිසුන් ප්‍රමාණයක් පාසලට ඇතුළත් කරගන්න කියන අධ්‍යාපන  ඇමති සහ ලේකම්ගේ නිර්දේශ මත සිදුවන ඇතුළත් කිරීම් නිසා. ඒ ක්‍රමය අපේ රජය යටතේ සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී පාසල්වලට ඇතුළත් වෙන්නේ  ඒ අදාළ නියමිත සිසුන් ප්‍රමාණය පමණයි.

   ඒ වගේම පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න අපි තාම තීරණයක් අරගෙන නැහැ. එහෙම කරන්න නම් පාසල් අතර තියෙන විෂමතාවය නැති කරන්න ඕනේ. ඒක අපිට එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ට ඇති වී තිබෙන, පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයේ බර අඩු කරන්න තමයි අපි මේ ප්‍රතිසංස්කරණ වලදි බලාපොරොත්තු වෙන්නේ.

    පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සහ එම ගුරුවරුන් පුහුණු කිරීම පිළිබඳ පූර්ණ නිරීක්ෂණය අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමටත් මෙම ප්‍රතිසංස්කරණ යටතේ අපි යෝජනා කරලා තියෙනවා. " යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

   මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා,

   "ගුරු පුහුණුව පිළිබඳව අපි විශේෂ අවධානයක් මෙහිදී යොමු කරලා තියෙනවා. අපි ඉදිරිපත් කරලා තියෙන කුලුනු පහට ගුරු පුහුණුවත් ඇතුළත් වෙලා තියෙනවා. එළැඹෙන අගෝස්තු මාසයේ ගුරු පුහුණුව ආරම්භ කරන වැඩපිළිවෙළ මේ වන විටත් සකස් කරලා තියෙනවා. " යැයි පැවසීය.

    මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් සහ අධ්‍යාපන ප්‍රධානීන් දැනුවත් කිරීමේ හමු කිහිපයක්ම ඉදිරියේදී පැවැත්වීමට ද මේ වන විටත් කටයුතු යොදා තිබේ.