ශ්‍රී ලංකා තැපෑලට ස්ථිර උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192ක්

ශ්‍රී ලංකා තැපෑලට ස්ථිර උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192ක්
  • SocialShare:

මෙරට තැපැල් සේවාවේ ග්‍රාමීය සහ දුරස්ථ ප්‍රදේශවල ජනතාවට තැපැල් සහ මූල්‍ය සේවා පහසුවෙන් ළඟා කර දීම සඳහා පිහිටුවා ඇති උපතැපැල් කාර්යාල ජාලය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සපයන පද්ධතියක් බවට පත් කිරීමට  ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇත.

ඒ යටතේ උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට (Human Resource Strengthening) පියවර ගනිමින් වත්මන් රජයේ මඟපෙන්වීම යටතේ වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීමට ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති අතර එහි නිල උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) කොළඹ ප්‍රධාන තැපැල් මූලස්ථානයේ දී පැවැත්වේ.

2019 වසරේ පමණ සිට වැඩ බලන උප තැපැල් ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ නිලධාරීන් 192ක් ස්ථිර කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2020 ඔක්තෝම්බර් 15 දිනට පෙර වැඩ බැලීමට යොදවා සිටි 196 දෙනෙකු අතුරින් සුදුසුකම් සපුරන ලද වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙදෙනෙකුට සඳහා මෙලෙස ස්ථීර පත්වීම් පිරිනැමීම සිදු කෙරේ.

මෙම තනතුරු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරුක් වේ.  

උප තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා උප තැපැල් ස්ථානාධිපතිවරුන්  ගොඩනැගිල්ලක් සොයා ගත යුතු අතර, එම උප තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා රජයෙන් ගෙවනු ලැබූ රුපියල් 1500 ක දීමනාව 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 7500 ක් දක්වා ඉහළ නැංවීමට ද වත්මන් රජය පියවර ගනු ලැබීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟ පෙන්වීම සහ උපදෙස් පරිදි පසුගිය වසර 02 කාලය තුළ මෙරට තැපැල් සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමට ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පියවර රාශියක් ගෙන ඇත.

ඒ යටතේ තැපැල් සේවා නිලධාරී III ශ්‍රේණියේ පුරප්පාඩුව පැවති තනතුරු 600ක් සඳහා පැවැත්වූ තරග විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණ වලින් අයදුම්කරුවන් 297 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණු අතර, එම පිරිසට පසුගිය අප්‍රේල් මස පත්වීම් ප්‍රදානය කරන ලදි. එහි ඉතිරි 303 ක් වු පුරප්පාඩු සඳහා ලබන ජූලි මස පත්වීම්  ලබාදීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර ඇත.

වසර ගණනාවක සිට  ලියාපදිංචි ආදේශකයින් ලෙස මධ්‍යම තැපැල් හුවමාරුව ප්‍රමුඛ දිවයින පුරා තැපැල් කාර්යාල වල සේවයේ නියුතු ලියාපදිංචි ආදේශකයින් 732 කට 2025 වසරේ ඔක්තොම්බර් මස තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්වීම් පිරිනැමීමට ද රජය පියවර ගන්නා ලදි.

එමෙන්ම විවෘත තරඟ විභාගයෙන් සහ ප්‍රායෝගික පරික්ෂණයෙන් තේරී පත්වූ   නව තැපැල් රියදුරන් 35 දෙනෙකුට 2025 නොවැම්බර් මස පත්වීම් ලබාදීමට ද පියවර ගැනුණි.

1921 වර්ෂයේදී උප තැපැල් කාර්යාල 06 කින් ආරම්භ වූ මෙරට උප තැපැල් ස්ථානාධිපති සේවාව, මේ වනවිට දිවයින පුරා අනුමත උප තැපැල් කාර්යාල 3410 දක්වා ව්‍යාප්ත වී ඇති විශිෂ්ට රාජ්‍ය සේවාවකි.