ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) එළිදක්වයි

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) එළිදක්වයි
  • SocialShare:

ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි.

2025 අයවැය යෝජනා යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව සකස් කර ඇති මෙම සැලැස්ම, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයන මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කරගත් ප්‍රධාන ජාතික වැඩසටහනක් වේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හි නායකත්වයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන හරහා ලබාදුන් තාක්ෂණික සහාය මත මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත.

මෙම සැලැස්ම රජයේ ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමඟ සිදු කළ පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන අතර, අපනයන විවිධාංගීකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘තිරස් අංශ’ (Horizontals) හයක් සහ ‘ප්‍රමුඛ අපනයන අංශ’ (Verticals) අටක් හඳුනාගෙන තිබේ.

රජයේ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික දැක්මට අනුකූලව සකස් කර ඇති මෙම සැලැස්ම මඟින් ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ඉහළ නංවා, 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

කලාපීය හා ගෝලීය වෙළෙඳපොළ සඳහා සේවා සපයන තරඟකාරී, සැපයුම් දාම සහ දැනුම පදනම් කරගත් අපනයන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ ප්‍රධාන දැක්ම වේ.

මේ හරහා නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමටත්, රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සහතික කිරීමටත් අපේක්ෂා කරන අතර මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ නව පෙරගමන්කරු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.

මෙම අවස්ථාව සඳහා  කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු අමාත්‍යවරුන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) කළමනාකාර අධ්‍යක්ෂිකා Shannon Cowlin, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ, ආර්ථික විද්‍යාඥයින්, රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන්, පෞද්ගලික අංශ නියෝජිතයන්, සංවර්ධන හවුල්කරුවන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.