ලාංකීය සමාජය මේ වන විට මුහුණ දී සිටින තීරණාත්මක දේශපාලන සහ ආර්ථික බිඳවැටීම් හමුවේ, රට තුළ නව යහපත් තත්ත්වයක් සහ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ වගකීම දේශපාලන නායකත්වයට, නිලධාරීන්ට මෙන් ම සමස්ත පුරවැසියන්ට ද පැවරී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මූලික විමර්ශන නිලධාරීන්ගේ සහ පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගේ සංචිතයට අදාළ දෙවන පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානෝත්සවයට පසුගියදා (19) නාරාහේන්පිට “නිලමැදුර” පරිපාලන ගොඩනැගිල්ලේදී එක්වෙමිනි.
පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද හේතුවෙන් ආගමික හා පවුල් සංස්ථා ඇතුළු සමාජ ව්‍යුහයන් බිඳවැටීමකට ලක්ව ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම තත්ත්වය හඳුනාගෙන නිසි ප්‍රතිකර්ම යෙදීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය. ආර්ථිකය යළි නගා සිටුවීම සහ නව සමාජයක් ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ දායකත්වය අවශ්‍ය බව ද ඔහු පැවසීය.
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම ජාතික අවශ්‍යතාවක් බවත් වත්මන් රජය රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජය බලයට පත්වන අවස්ථාවේදී ලක්ෂ හතරකට ආසන්න පුරප්පාඩු සංඛ්‍යාවක් පැවති බවත් දීපව්‍යාප්ත සේවා ඇතුළු සියලු ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට පියවර ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය සේවය ගුණාත්මක හා කාර්යක්ෂම මට්ටමකට පත් කිරීම සඳහා වැටුප් වැඩි කිරීම් සහ නව බඳවාගැනීම් සිදු කරන අතරම, දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා ද දැඩි අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් නීති විරෝධී ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස අවම කළ හැකි බවට ද ඔහු විශ්වාසය පළ කළේය.
මෙම අවස්ථාවට මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් දීපිකා ජයසේකර මහත්මිය සහ අතිරේක ලේකම් (විමර්ශන) එස්.කේ.ඩබ්ලිව්.එස්. කුමාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.


