සමස්ත සමාජ පරිවර්තනය තුළ මතුවන නව අභියෝග හමුවේ ශාසනයේ ප්‍රබෝධය වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ඊයේ (19) පල්ලෙකැලේ SIBA පරිශ්‍රයේ පැවති "සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙන" සඟරජ බුහුමන් 2026 ජාතික පිරිවෙන් දින රාජ්‍ය මහෝත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
පිරිවෙන් සහ පාසල් එකම ආයතන නොවන බව අවබෝධ කරගෙන පිරිවෙන් අධ්‍යාපනයේ අවශ්‍ය වෙනස්කම් සිදු කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
නවීන හා සංකීර්ණ ලෝකයේ අභියෝග ජයගත හැකි සඟ පරපුරක් බිහිකිරීම සඳහා පිරිවෙන් අධ්‍යාපනය යාවත්කාලීන කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ඒ සඳහා පිරිවෙන් අධ්‍යාපනයේ අරමුණු සාක්ෂාත් කරගත හැකි පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ සකස් කිරීමට මහා සංඝරත්නයේ මූලිකත්වය අවශ්‍ය බවද ඇය පැවසුවාය.
එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය සමඟ මේ වන විටත් සාකච්ඡා සිදු කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධානය කළ මෙම රාජ්‍ය මහෝත්සවයේදී පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශිෂ්ට ශාසනික මෙහෙවරක නිරත වූ මහා සංඝරත්නයට උපහාර පුද කිරීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන්, නිලංග දෑල ඇතුළු මහා සංඝරත්නය, රාජ්‍ය නිලධාරීන් සහ පිරිවෙන් ශිෂ්‍යයින් විශාල පිරිසක් සහභාගී වූහ.


