මධ්‍යම සංස්කෘතික අරමුදලේ නියම අරමුණු දැන් ඉටු වෙමින් තිබෙන බවත්, ගල්ලැන්ගොල්ල මූලමහා විහරයේ සංරක්ෂණයට කෝටි 18ක් වෙන් කළේ මධ්යම සංස්කෘතික අරමුදලේ ප්රතිපාදනවලින් පමණක් බවත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යාංශය, මධ්යම සංස්කෘතික අරමුදල එක්ව දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩුනුවර, වෙලැම්බොඩ, ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූල්මහා විහරයේ ප්රතිසංස්කරණ කටයුතු අද (19) අරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ සදහන් කළාය
.
ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහරයේ විහාරාධිපති ශාස්ත්රවේදි අඹන්පොල සරද නායක හිමියන්ගේ අනුශාසකත්වය යටතේ විහාරස්ථානයේ ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය,
මධ්යම සංස්කෘතික අරමුදලේ නියම අරමුණු දැන් ඉටු වෙමින් තිබෙනවා. ගල්ලැන්ගොල්ල මූලමහා විහරයේ සංරක්ෂණයට කෝටි 18ක් වෙන් කළේ මධ්යම සංස්කෘතික අරමුදලේ ප්රතිපාදනවලින් පමණයි. මධ්යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත නොකර එකතු වුණා නම් විශාල වැඩකොටසක් කරන්න හැකි බව මෙයින් පැහැදිලි වෙනවා.
රජය මුදල් රැස් කරන්නේ මහා භාණ්ඩාගාරයේ තියා ගන්න හෝ වෙනත් අරමුණු වෙනුවෙන් නොවෙයි ජනතාවට නැවත ප්රතිලාභ ලබා දීමටයි. දිට්වා ආපදාව වෙනුවෙන් රජය මිලියන 500ක් වෙන් කළා. නිවාස පහලොස් දහසක් ඉදිකරන්න කටයුතු කරනවා. මේ සියල්ල කරන්නේ ණය ලබාගෙන නෙමෙයි.
ඒ වගේම රජයක් ලෙස අපි බලාපොරොත්තු වෙන පරිවර්තනීය යුගය කරා යන්න ආර්ථික සංවර්ධනය පමණක් නෙමෙයි අපේ උරුමයන්, සංස්කෘතිය, අධ්යාපනය ඇතුලු සෑම අංශයක්ම සංවර්ධනය කළ යුතුයි. විශේෂයෙන් අපේ උරුමය, සංස්කෘතිය අනාගත දරුවන්ට උරුම කර දෙන්න නම් අපි ඒ දේවල් ආරක්ෂා කරන්න ඕන. ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහරය සංරක්ෂණය කිරීම තුළින් මේ ප්රදේශයම ආරක්ෂා වෙනවා වගේම සංවර්ධනය වන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය
.
මෙහිදී අදහස් දැක් වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි,
මධ්යම සංස්කෘතික අරමුදල මගින් දිට්වා සුළි කුණටුවෙන් ආපදාවට පත් ආගමික ස්ථාන අතරින් ප්රධාන වශයෙන් ස්ථාන හතක් ප්රතිසංස්කරණය කිරිම සදහා රුපියල් මිලියන පන්සිය හතරක් වෙන් කළා. එයින් වැඩිම කොටස ලෙස රුපියල් මිලියන 185ක් වෙන් කළේ මෙම විහාරස්ථානයටයි. මේ සියලු මුදල් මධ්යම සංස්කෘතික අරමුදලේ ප්රතිපාදන බව ද පැවසුවේය.
මෙම අවස්ථාවට රාමඤ්ඤ මහා නිකායේ හා මධ්යම පළාත් ප්රධාන සංඝනායක උඩුනුවර නිග්රෝධ ඛෙත්ථ මහ පිරිවෙනේ පරිවේණාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නායක ස්වාමීන්වහන්සේ ප්රධාන මහා සංඝරත්නය, සෞඛ්ය නියොජ්ය අමත්ය හංසක විජෙමුණි, පර්ලිමේන්තු මන්ත්රිවරුන්, මහජන නියොජිතයින්, මධ්යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්, පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ප්රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.


