බෙල්ගොලක්ස් ශ්‍රී ලංකා ආර්ථික සංසදය 2026 කොළඹ වරාය නගරයේදී ඇරඹේ

බෙල්ගොලක්ස් ශ්‍රී ලංකා ආර්ථික සංසදය 2026 කොළඹ වරාය නගරයේදී ඇරඹේ
  • SocialShare:

බෙල්ජියම සහ ලක්සම්බර්ග් රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන හා ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් බෙල්ගොලක්ස් ශ්‍රී ලංකා ආර්ථික සංසදය 2026 (BELGOLUX Sri Lanka Economic Forum 2026) අද (19) කොළඹ වරාය නගරයේදී ආරම්භ විය.

බෙල්ජියම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, බෙල්ගොලක්ස් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය (BLSBC), ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා–බෙනිලක්ස් ව්‍යාපාරික කවුන්සිලය සහ කොළඹ වරාය නගරය එක්ව මෙම උපායමාර්ගික ආර්ථික සංසදය සංවිධානය කර තිබුණි.

ජූනි 17 සිට 21 දක්වා ශ්‍රී ලංකාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන “බෙල්ගොලක්ස් මෙහෙයුම” සමඟ සමගාමීව පැවැත්වෙන මෙම සංසදයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී විය.

සංසදය අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ , යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම හා විශ්වාසවන්තම ආර්ථික හවුල්කරුවෙකු වන අතර එය මෙරට ප්‍රධාන අපනයන ගමනාන්තයක් සංවර්ධන හවුල්කරුවෙක් සහ ආයෝජන මූලාශ්‍රයක් ලෙසද ක්‍රියා කරන බවයි.

නිමි ඇඳුම්, තේ, රබර් නිෂ්පාදන සහ මුහුදු ආහාර වැනි සාම්ප්‍රදායික අපනයන ක්ෂේත්‍රවලින් ඔබ්බට ගොස්, ඉහළ වටිනාකමකින් යුත් සහ දැනුම මත පදනම් වූ ක්ෂේත්‍ර වෙත ශ්‍රී ලංකාව යොමු විය යුතු බවත් එහිදී බෙල්ජියම සහ ලක්සම්බර්ග් වැනි රටවල් ශ්‍රී ලංකාව සඳහා ව්‍යූහාත්මක ආර්ථික හවුල්කරුවන් ලෙස වැදගත් වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ව්‍යාපාර, ආයෝජන, නවෝත්පාදන සහ හවුල්කාරිත්වයන් සඳහා විවෘත රටක් බවත්, විශ්වාසය, සංවර්ධනය සහ අන්‍යෝන්‍ය සාර්ථකත්වය මත පදනම් වූ දිගුකාලීන සබඳතා ගොඩනැගීමට රජය කැපවී සිටින බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම නවෝත්පාදන, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය ඉදිරි දශකවල ආර්ථික සාර්ථකත්වය තීරණය කරන ප්‍රධාන සාධක වන බව සඳහන් කළ අමාත්‍යවරයා, උපායමාර්ගික භූගෝලීය පිහිටීම, දක්ෂ ශ්‍රම බලකාය, වර්ධනය වෙමින් පවතින තාක්ෂණික ක්ෂේත්‍රය සහ ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාව විදේශීය ආයෝජකයන්ට ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත්ව ඇති බවද කියා සිටියේය.

බෙල්ජියම, ලක්සම්බර්ග් සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම, නවෝත්පාදන සහ තිරසර ආර්ථික සහයෝගීතාව සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සහ රාජ්‍ය නියෝජිතයන්, ආයෝජකයන්, ව්‍යාපාරිකයන් හා ආයතනික පාර්ශ්වකරුවන් එක් වේදිකාවකට ගෙන ඒම මෙම සංසදයේ ප්‍රධාන අරමුණු වේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා , කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ,යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ මහත්මිය, ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් මහතා, ශ්‍රී ලංකාවේ ලක්සම්බර්ග් තානාපති ක්‍රිස්ටියන් බීවර් මහතා, බෙල්ගොලක්ස් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ මහලේකම් සම්පත් තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රමුඛ නියෝජිතයන් රැසක් සහභාගී වූහ.