කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය අදයි
  • SocialShare:

එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය වැළැක්වීමේ සම්මුතිය (UNCCD) අනුව සෑම වසරකම ජුනි 17 වැනිදා "කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය" සමරනු ලබයි.

මෙවර එහි තේමාව ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ "Rangelands: Recognize. Respect. Restore." (තෘණ භූමි: හඳුනාගනිමු. ගරු කරමු. ප්‍රතිසංස්කරණය කරමු.) යන්නයි.

මෙම දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය විසින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන් මාලාවේදී පාසල් සිසුන් සඳහා පාංශු සංරක්ෂණය හා තිරසර භූමි කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පවත්වනු ඇත.

තවද, "තියඩෝරා තෙල්මා තියටර් පදනම" මඟින් ඉදිරිපත් කරන වීදි නාට්‍යයක් සහ මොරටුව විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රංගික හල්වතුර මහතාගේ ප්‍රධාන දේශනයක් ද මෙම වැඩසටහනේදී පැවැත්වීමට නියමිතය.

වර්තමානයේ දැඩි අවධානයට ලක්ව ඇති "එල්නිනෝ" (El-Nino) දේශගුණික තත්ත්වය සහ එමඟින් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ප්‍රීතිකා මාධවී ජයකොඩි මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදු කිරීමට ද නියමිතය.