ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ නිල හමුවක් පසුගියදා (15) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් සපිරීමට ආසන්න මොහොතක, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ගොඩනැගීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී මහ කොමසාරිස්වරිය දැනුවත් කළේය. විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුව වැනි ස්වභාවික ව්‍යසනයන්ගෙන් බැටකෑ ධීවර ප්‍රජාවට සහ රටට ලබාදුන් සහාය පිළිබඳව අමාත්‍යවරයා කැනඩා රජය වෙත සිය කෘතඥතාව පළ කළේය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින සාමකාමී වාතාවරණය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, දශක ගණනාවකට පසු මාර්ග බාධක ඉවත් කර ප්‍රධාන මාර්ග විවෘත කිරීමත්, ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමත් හරහා ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බව පෙන්වා දුන්නේය. ජාතික සමගිය වෙනුවෙන් උතුරු පළාතේ ජනතාව ලබාදුන් ඓතිහාසික ජනවරම මෙහිදී අමාත්‍යවරයා විසින් සිහිපත් කරන ලදී.
මෙම සාකච්ඡාවට එක්වූ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සඳහන් කළේ, මෙරට ධීවර කර්මාන්තය හුදු ජීවනෝපාය මාර්ගයකින් ඔබ්බට ගිය දියුණු කර්මාන්තයක් බවට පත්කිරීම රජයේ අරමුණ බවයි. ඒ සඳහා කැනඩාව සතු උසස් ජෛව තාක්ෂණය, නවීන යාත්‍රා සැලසුම් කිරීම සහ ජලජීවී වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති කැමැත්ත ලේකම්වරයා ප්‍රකාශ කළේය.
කැනඩා මහ කොමසාරිස්වරිය මෙහිදී අවධාරණය කළේ, කැනඩාවේ නව ඉන්දු-පැසිෆික් උපායමාර්ගය යටතේ ශ්‍රී ලංකාව සමඟ සමුද්‍රීය ආරක්ෂාව සහ ධීවර ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීමට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙන බවයි. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සහ තාක්ෂණික සහයෝගීතාව පිළිබඳව ඉදිරියේදී සවිස්තරාත්මක යෝජනාවලියක් හරහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.
මෙම අවස්ථාවට කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන හා වාණිජ අංශ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.


