2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක් – නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

2026 පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක් –  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
  • SocialShare:

2026 වර්ෂයේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1ක වර්ධනයක් වාර්තා කර ඇති බවත්, එය 2021 වර්ෂයෙන් පසු පළමු කාර්තුවක වාර්තා වූ ඉහළම ආර්ථික වර්ධනය බවත් කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රට විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටියද, විශේෂයෙන් මැද පෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුවද, ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වී ඇති බව  ඔහු පැවසීය.

ඇතැම් පාර්ශ්ව  රටේ ආර්ථිකය බිඳ වැටෙන බවට ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ දරා තිබුණද, එම ප්‍රකාශ අසත්‍ය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

2025 වර්ෂයේ ලබාගත් ආර්ථික වර්ධනය මඟින් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට පමණක් නොව, ඉදිරි වර්ෂවල අපේක්ෂිත ආර්ථික වර්ධනය සඳහා මූලික පදනම ද සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන අංශවල සමස්ත ක්‍රියාකාරිත්වය ආර්ථික වර්ධනයට දායක වූ බව පෙන්වා දුන්නේය.

ඒ අනුව , කර්මාන්ත අංශය  7.2% ක වර්ධනයක් වාර්තා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. එහෙත් කෘෂිකර්ම අංශයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කිරීමට නොහැකි වූයේ ‘දිත්ව’ සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් බව ද ඔහු සඳහන් කළේය.

කර්මාන්ත අංශය තුළ පතල් හා කැනීම් කර්මාන්තය  19.5%ක, ඉදිකිරීම් අංශය  16.3%ක, ජල සැපයුම් අංශය  11.9%ක සහ විදුලිබල අංශය  7.5%ක වර්ධනයක් වාර්තා කර ඇති බව ද ඔහු පැවසීය.

පොල් වගාව  64%.8ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සේවා අංශය තුළ රක්ෂණ අංශය  22%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, තොරතුරු තාක්ෂණ අංශය  16.1%ක සහ මූල්‍ය සේවා අංශය  12.5%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය .

රාජ්‍ය ආදායම් කාර්යක්ෂමව රැස් කර ගැනීමෙන් මෙවැනි ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකි වූ බවද සඳහන් කළේය .ඒ හරහා මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාමට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

'දිත්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන පැකේජ ලබාදීම සඳහා ද රජයට හැකියාව ලැබුණු බව අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.