2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ක්‍රියාවට නැංවීමට සමගාමීව රේගුව තුළ සිදු කළ යුතු නව්‍යකරණ වැඩපිළිවෙළ සහ අපනයනකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශය මගින් සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාවේදී අපනයන පුළුල් කිරීම සඳහා රේගුව තුළ සිදුකළ යුතු නව්‍යකරණ වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
අපනයන බහලුම් පරීක්ෂා කරනු ලබන Export Facilitation Centre හි ධාරිතාව, පහසුකම් සහ නවීකරණ කටයුතු සිදු කර අපනයනකරුවන්ට වඩාත් පහසුවෙන් අපනයන කටයුතු සිදුකළ හැකි පරිසරය නිර්මාණය කර දෙන ලෙස මෙහිදී ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුව වෙත උපදෙස් ලබා දුන්නේය.
එසේම දිවයින පුරා අපනයනකරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන් අපනයන ක්ෂේත්‍රයට යොමු කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දැනට රේගුවේ කර්මාන්ත පහසුකම් අංශයේ ක්‍රියාත්මක වන TIEP (Temporary Import for Export Processing) ක්‍රියාවලිය නැවත සමාලෝචනය කර මේ වන තෙක් අපනයන සඳහා යොමු වී නොමැති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්‍රය සඳහා යොමු කර ගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවයද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.
අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීමේදී, රේගු කටයුතු විමධ්‍යගත කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර යාපනය ප්‍රදේශයේ රේගු අපනයන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අවධානය යොමු විය.
e-commerce මගින් අපනයන කටයුතු සිදු කිරීමේදී මතුව ඇති බාධා ඉවත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ අතර තැපැල් දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව එම කටයුතු විධිමත් කිරීමට ගතහැකි පියවර පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමටද තීරණය කෙරිණි.
ඩිජිටල් ක්‍රමවේද යොදා ගනිමින් අදාළ ලිපි ලේඛන සැකසීම කඩිනම් කිරීම තුළින් ගතවන කාලය සහ පිරිවැය අවම කර ගැනීම සහ අවදානම් ඇගයීමක් මගින් අවදානම් අඩු අපනයනකරුවන්ට පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ, ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශයේ ප්‍රධානත්වයෙන් රේගුව, අපනයන සංවර්ධන මණ්ඩලය සහ අනෙකුත් අදාළ ආයතන මාසිකව රැස් වී මෙම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනයට සහ අපනයනකරුවන්ගේ ගැටලු හඳුනාගැනීම සහ නිරාකරණය පිළිබඳ සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය විය.
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන ජාතික දැක්මට අනුකූලව, ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36 ක අභිලාෂකාමී මෙන්ම යථාර්ථවාදී අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කරනු ලැබ තිබේ.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විමල් ලියනගම, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ, ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ටී. ලෝගනාදන්, එල්.කේ.එස්.ඩී.කේ. අරේවත්ත, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ඩබ්.එල්.සී. තිලකසිරි යන මහත්වරු සහ ශ්‍රී ලංකා රේගුවේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


