සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන් හි අනාගත ප්‍රවර්ධනයට කොරියානු රජයේ අඛණ්ඩ සහය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අංශයන් හි  අනාගත  ප්‍රවර්ධනයට කොරියානු රජයේ අඛණ්ඩ සහය
  • SocialShare:

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන් හි අනාගත ප්‍රවර්ධනය උදෙසා කොරියානු ජනරජය සහ‌යෝගය දක්වන බවද ප්‍රදානයන් ලබාදෙන බවද ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි මියෝන් ලී (Miyon Lee) මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේ අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවේ ඉතා සමීප මිත්‍ර රාජ්‍යයක්වන කොරියානු රජය මෙරට ව්‍යාපෘති සඳහා ප්‍රමුඛ සහයෝගයක් ලබා දී ඇති බවත් KOFIH, KOICA සහ EDCFයන කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා සංවිධාන හරහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඉහළ දායකත්වයක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී කොරියානු රජය සමඟ ගනුදෙනු කිරීම ඉතා පහසු හා කාර්යක්ෂම බවත්, එ් හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වඩාත් ඉහළ ඵලදායි ප්‍රතිඵල ලබාගත හැකි බවත්, ඉදිරියේ දී යෝජිත ව්‍යාපෘති ද සාර්ථක කරගැනීමට ඒ අනුව හැකිවනු ඇතැයි අමාත්‍යවරයා මෙහි දී සදහන්කර සිටියේය.

කොරියානු රජය දශක ගණනාවක සිට මෙරට සෞඛ්‍ය සහ  අධ්‍යාපන, යන අංශ  ඇතුළු ඩිජිටල්කරණ ව්‍යාපෘති මෙන්ම ක්ෂේත්‍ර ගණනාවකට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගීතාවය දක්වන බවත් වර්තමානයවන විට විශාල ගැටළුවක්ව පවතින මෙරට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යාපෘති රාශියක් කොරියානු ජනරජය මගින් ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ සියල්ලම වෙනුවෙන් දක්වන විශේෂ දායකත්වයට  සිය කෘතඥතාවය ද  කොරියානු රජයට පළකරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනී මියෝන් ලී (Miyon Lee) මහත්මිය මෙහි දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා කොරියානු රජය ලබා දුන් දායකත්වය අඛණ්ඩව ඉදිරියටත් ලබාදීමට කටයුතුකරන බව ඉතා පැහැදීමකින් යුතුව පැවසුවාය.

කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමේ ( KOFIH) දායකත්වයෙන් ක්‍රියාත්මක වන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාව නඟා සිටුවීමේ ව්‍යාපෘතිය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව ද ඇය මෙහි දී  දීර්ඝව අදහස් පළ කළා ය.   

එමෙන්ම මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් යෝජිත සැලසුම්වලට අවශ්‍ය සහයෝගය නිබඳව ලබා දෙන බවත් පැවසූ තානාපතිවරිය ශ්‍රී ලංකාව සුන්දර රාජ්‍යක් බවත් මහනුවර දළදා මාලිගාව, සීගිරිය වැනි ස්ථාන නැරඹීමට කොරියානු සංචාරකයින් මහත් ප්‍රියතාවයක් දක්වන බව ද  සදහන් කළාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන්වන ජනක කිත්සිරි ගුණවර්ධන, සාලින්ද බණ්ඩාර, කේ.පී. යෝගචන්ද්‍ර, ජීව වෛද්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්.එල්.හේරත්, කොරියා ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා පදනමෙහි  මහලේකම් ක්වාන් බෙක්- බෙක් (Kwan baek- Baek) යන මහත්ම මහත්මීන් මෙන්ම කොරියානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.