චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව විදහා දක්වන ඡායාරූප ප්‍රදර්ශනයක් ජාතික රෝහලේ දී

චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව විදහා දක්වන ඡායාරූප ප්‍රදර්ශනයක්  ජාතික රෝහලේ දී
  • SocialShare:

චීන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව විදහා දක්වන “Heart to Heart, Side by Side” ඡායාරූප  ප්‍රදර්ශණය චීන ආධාර (China Aid) යටතේ නිම වූ   ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිලි පරිශ්‍රයේදී ඊයේ (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) මහතාගේ සහභාගීත්වයෙන් විවෘත කෙරිණි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් තහවුරු කරන්නා වූ සංඛේතයක් බඳු ශ්‍රී ලංකා ජාතික රෝහලේ චීන ආධාර යටතේ ඉදිකළ බාහිර රෝගී ප්‍රතිකාර අංශය තුළ මෙම ඡායාරූප ප්‍රදර්ශණය සංවිධානය කර ඇත.

මෙම ප්‍රදර්ශණයට චීනය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්ත්වයේ අවස්ථාවන් නිරූපණය කරන්නා වූ ද්විපාර්ශ්වික හුවමාරු, ශ්‍රී ලංකාවට චීනය ලබා දුන් ආධාර, චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ව්‍යාපෘති, චීන-ශ්‍රී ලංකා බහු-ක්ෂේත්‍ර සහයෝගිතාව සහ චීනයේ ජයග්‍රහණ ඇතුළත් තේමාවන් සහිත දෙරට අතර අනෝන්‍ය සහයෝගීතාවයන් ආදිය විදහා දැක්වෙන අවස්ථා නිරූපණය කරනු ලැබූ ඡායාරූප 350 කට අධික ප්‍රමාණයක් ඇතුළත්ය.

මෙහිදී පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ශ්‍රී ලංකා ජාතික රෝහලේ චීන ආධාර යටතේ ඉදිකර ඇති නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල හේතුවෙන් රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට මෙන්ම ප්‍රතිකාර සේවා සපයන කාර්ය මණ්ඩලයට ද වඩාත් ප්‍රියතාවයක් දක්වන්නා වූ සහ පහසුකම් සහිත පරිසරයක සිට සේවාවන් ලබාගැනීමට මෙන්ම ගුණාත්මක සේවාවක් සැපයීමට ද හැකියාව ලැබී ඇති බව සඳහන් කළේය.

දිවයිනේ ප්‍රමුඛතම යොමු කිරීමේ මධ්‍යස්ථානය (Apex referral centre) වන ජාතික රෝහල සතුව ඇඳන් 3,600 කට අධික සංඛ්‍යාවක් පවතින බවත්, එමෙන්ම 9,000 කට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවය කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම රෝහලෙන් කිසිදු භේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම උසස්  ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමේ පහසුකම් මේ වනවිට සැළසී ඇති බව පැවසීය.

චීන ආධාර (China Aid) යටතේ යුවාන් මිලියන 500 ක (500 million yuan) පිරිවැයකින් නිම වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ පොදු සෞඛ්‍ය යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී ආයෝජනයක් බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතාවන් මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවිත සෘජුවම නගාසිටුවීමට බෙහෙවින් ඉවහල් වන බව ද පැවසීය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සහයෝගීතාවයට චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කරන බව ද මෙහිදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රදර්ශනය මගින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව මෙන්ම සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතාවයේ සාර්ථකත්වය ද මනාව පිළිබිඹු කිරීමට හේතුවන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්ග්හොන්ග් (Qi Zhenhong) යන මහතවරුන් ද මෙහිදි අදහස් දක්වන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සහ හෘද රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක තෑන්ග් යැන්ඩි (Tang Yandi), ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.