නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස ඇරඹෙයි

නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස ඇරඹෙයි
  • SocialShare:

2025 වසරේ සිට නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙම නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වසර කිහිපයක සිට ක්‍රියාත්මක වන බව පැවසූ අමාත්‍යවරයා ඒ යටතේ කෙටිකාලීන බෝග ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ට කාරක ප්‍රාග්ධනය සැපයීම මෙහි අරමුණ බවද වැඩිදුරටත් කියා සිටියේය.
ඒ යටතේ මෙම ණය යෝජනා ක්‍රමය ලබාදීමට බෝග වර්ග කිහිපයක් හඳුනාගෙන ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම බෝග ලෙස වී, මිරිස්, රතු ලූණු, ලොකු ලූණු, රනිල බෝග ලෙස කවුපි, මුංඇට, උඳු, සෝයා බෝංචි, බඩඉරිඟු, කුරක්කන්, රටකජු, තල, සූරියකාන්ත, අර්තාපල්, බතල, එළවලු වශයෙන් වම්බටු, බණ්ඩක්කා, බීට්, බෝංචි, ගෝවා, කැරට්, මාලුමිරිස්, තක්කාලි, ලීක්ස්, රාබු, නෝකෝල්, වැටකොලු, කරවිල, පතෝල, වට්ටක්කා, ඉඟුරු, උක් සහ කහ යන බෝග පෙන්වා දුන්නේය.
ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙමින් පැවති බවද එය මෙතෙක් ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වන අතර මෑතකදී සම්මත කරන ලද නව මහබැංකු පනතේ විධි විධාන මත මෙවැනි සහනදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මහා බැංකුවට හැකියාවක් නොලැබෙන බවද අවධාරණය කළේය.
මෙම ණය යෝජනා ක්‍රමය ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැදගත් වන බව පැවසූ අමාත්‍යවරයා 2025 වසරේ සිට මෙම නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කිරීමට මුදල් ක්‍රමසම්පාදන, ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.