ඇල්පිටිය මූලික රෝහලට රුපියල් 15,50,000 වටිනා නවීන යන්ත්‍ර සහ නව ගොඩනැගිල්ලක්

ඇල්පිටිය මූලික රෝහලට රුපියල් 15,50,000 වටිනා නවීන යන්ත්‍ර  සහ නව ගොඩනැගිල්ලක්
  • SocialShare:

මෙරට අක්‍රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු සක්‍රීය කිරීමට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් දක්වන ලද්දේ ඇල්පිටිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන ‌කමිටුවේ පූර්ණ දායකත්වයෙන් රෝහලේ භෞත චිකිත්සක ඒකකයට රුපියල් පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා නවීන යන්ත්‍ර දෙකක් පිරිනැමීම සහ රෝහල් පොලීසිය සඳහා රුපියල් ලක්ෂ 12 ක වියදමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයකට පසුගියදා එක්වෙමිණි.

සක්‍රීය සහ ශක්තිමත් රෝහල් සංවර්ධන කමිටු සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මකවීම අත්‍යාවශ්‍ය බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි භාරගෙන සිදු කළ ප්‍රථම කාර්ය රොහල් සංවර්ධන කමිටු විධිමත් කිරීමට කටයුතු කිරීම බව මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අක්‍රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු ජාතික රෝහලේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය දක්වා ඒ ඒ ‌රෝහල්වලට ගැළපෙන ලෙස සක්‍රීය කිරීමට කටයුතු කළ බව ද පැවැසීය.
එහිදී රෝහල් වර්ගීකරණය අනුව රෝහල් සංවර්ධන කමිටුවේ සිටිය යූතු ප්‍රමාණය, සංයුතිය පිළිබඳවත් අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සක්‍රීය රෝහල් සංවර්ධන කමිටු සැලකිය යුතු රෝහල් ප්‍රමාණයක ස්ථාපිත කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.
තමන් “පොරොන්දු දේශපාලනය” අනුගමනය නොකරන බව ද මෙහිදී පැවැසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දකුණු පළාත ඇතුළුව සමස්ත දිවයිනේ පුරා සැලසුම් සහගත ක්‍රමවේදයක් ඔස්සේ රෝහල් සංවර්ධනය කිරීමට රජය පියවර ගන්නා බවත්, ඒ අනුව දකුණු පළාතේ රෝහල් පද්ධතිය ද එම වැඩපිළිවෙල තුළ ශක්තිමත් වනු ඇති බව ද වැඩිදුරටත් පැවැසීය.
රෝහල් සංවර්ධන කමිටුව විසින් ලොතරැයි දිනුම් ඇදීමකින් උපයාගත් මුදලින් පහළොස් ලක්ෂ පනස් දහසක් මුදලක් වැය කරමින් රෝහලට ස්ටිමියුලේෂන් යන්ත්‍රයක් සහ අල්ට්‍රා සවුන්ඩ් යන්ත්‍රයක් සහ රෝද පුටුවක් මෙලෙස ලබාදීමට කටයුතු කර තිබූ අතර, රෝහල් පොලීසිය සඳහා ඉදිකිරීමට මුල්ගල් තැබුණු ගොඩනැගිල්ල ද රෝහලට බලවත් අවශ්‍යතාවයක්ව පැවතුණි.
රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය, රසායනාගාරය ඇතුළු ප්‍රතිකාර සේවාවන් ද නිරීක්ෂණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා රෝහල් පාලනාධිකාරිය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රෝගී ප්‍රතිකාර සේවාවන්, සංවර්ධන ව්‍යාපෘති, ඉදිරි ප්‍රමුඛතාවයන් සහ කාර්ය මණ්ඩල ගැටළු පිළිබඳව රෝහල් ශ්‍රවණාගාරයේ දී විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදි.
ඇල්පිටිය මුලික රෝහලට කැබිනට් අමාත්‍යවරයෙකු මෑත භාගයේ පැමිණි පළමු අවස්ථාව බව ද මෙහිදී රෝහල් සංවර්ධන කමිටු සාමාජිකයින් පෙන්වා දීම ද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නිශාන්ත පෙරේරා, ටී.කේ ජයසුන්දර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් ප්‍රියන්ත සුමනසිරි, දකුණු පළාත් සෞඛ්‍ය්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ජී.එස් පණ්ඩිතරත්න, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර, ඇල්පිටිය මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි කන්ජිත සමරත්න, හිටපු වෛද්‍ය අධිකාරි වෛද්‍ය මුදිත අමරසිංහ, රෝහල් සංවර්ධන කමිටුවේ සභාපති විදානආරච්චි කීර්තිරත්න මහතා ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.