ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකෙරේ

ජනවාරි මස 01වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ වැටුප් වැඩිකෙරේ
  • SocialShare:

2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව 2026 වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප, රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා වැඩිවන අතර දෛනික වැටුප රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා වැඩිවන බව කම්කරු කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය පවසයි.

ඒ අනුව සේවායෝජකයන් අදාල ගෙවීම් කළ යුතු බවත් මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරීමේදී, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගනු ලබන සේවකයකු සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුලුව සෑම සේවායෝජකයකුම එම පනතේ නියමයන් ‍ප්‍රකාරව බැඳී සිටීන බවත් ඒ ඇය පෙන්වා දේ.

එසේම, සංශෝධිත පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනාවන් එකතු කිරීම හැරුණු කොට සේවකයෙකු 2025.03.31 දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලවු කිරීමට යොදා නොගත යුතු වේ.

තවද මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇත. එසේම යම් හෙයකින්, නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වේ නම් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවද වටලියද්ද මහත්මිය වැඩිදුරටත් පවසයි.