චීන වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදු කිරීමට සැළසුම් කරමින් සිටින බවත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් භාවිත කරමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු, පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීම අරමුණ බවත් එම මණ්ඩලයේ නියෝජිතයින් පවසයි.
කෘෂිකර්ම , පශු සම්පත් , ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා හමුවීමෙන් අනතුරුව පැවැති සාකච්ඡාවේදී එම නියෝජිත පිරිස මේ බව පවසා තිබේ.
මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි අධිකාරියට අයත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමු වී ඇත.
මේ සම්බන්ධයෙන් වන නිශ්චිත යෝජනාවලියක් චීන වාණිජ මණ්ඩලය ඉදිරිපත් කළ අතර, එය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට ද ඔවුන් කටයුතු කර තිබේ.


