මානව–වනජීවී සහජීවනය පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සාකච්ඡාව බොට්ස්වානාහිදී

මානව–වනජීවී සහජීවනය පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු සාකච්ඡාව බොට්ස්වානාහිදී
  • SocialShare:

වන සතුන් සහ මිනිස් සහජීවනය පිළිබඳ ජාත්‍යන්තර පාර්ලිමේන්තු වටමේස සාකච්ඡාව ඊයේ (19) අප්‍රිකාවේ ගැබෝරෝන් නගරයේදී, බොට්ස්වානාහිදී නිල වශයෙන් ආරම්භ විය.

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා සහභාගී වූහ.

බොට්ස්වානා ඇතුළු අප්‍රිකානු රටවල් කිහිපයක්, තෝරාගත් යුරෝපා සංගමයේ සාමාජික රටවල් සහ අනෙකුත් රටවල් සමඟ රටවල් 12ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.

නූතන යුගයේ රටවල් මුහුණ දෙන සමාජ–පරිසර අර්බුදයක් වන මිනිස්–වනජීවී ගැටුම් සඳහා ඵලදායී විසඳුම් සෙවීම මෙම වටමේස සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වේ. මිනිස් සහ වනජීවී යන දෙපාර්ශවයටම ප්‍රතිලාභ සැලසෙන පරිදි සහජීවනය තහවුරු කළ හැකි ප්‍රවේශයන් සම්බන්ධයෙන් දැනුම, අත්දැකීම් සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීම මෙහිදී සිදු කෙරේ.

දේශගුණික විපර්යාස, භූමි පරිහරණ පීඩනය සහ ජනගහන වෙනස්වීම් හේතුවෙන් අප්‍රිකානු සහ ආසියානු කලාපය තුළ දිගුකාලීනව පවතින මිනිස්–වනජීවී ගැටුම සම්බන්ධයෙන්, ප්‍රාදේශීය ජනතාව මුහුණ දෙන සැබෑ ගැටලු සහ ජාතික ප්‍රතිපත්ති අතර සම්බන්ධකයක් ලෙස කටයුතු කළ හැකි ශක්තිමත් ව්‍යවස්ථාපිත රාමුවක් ගොඩනැගීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.

කෙටි කාලීන කළමනාකරණ ක්‍රමවලින් ඔබ්බට ගොස් දිගුකාලීන සහජීවන නීති හඳුන්වාදීම, ප්‍රජා මූලික ස්වභාවික සම්පත් කළමනාකරණය ඔස්සේ ප්‍රාදේශීය ජනතාව සවිබල ගැන්වීම, ජීවනෝපාය සුරැකීම සඳහා ක්‍රමවත් වන්දි හා රක්ෂණ ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ නවීන තාක්ෂණය හා දත්ත මත පදනම් වූ විසඳුම් ප්‍රවර්ධනය කිරීම මෙහිදී විසඳුම් ලෙස සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ අලි–මිනිස් ගැටුම කළමනාකරණය කිරීමේදී රට සතු අත්දැකීම්, ප්‍රජා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කර ඇති පියවර සහ නව තාක්ෂණ භාවිතයෙන් විසඳුම් සෙවීම පිළිබඳවද මෙම සමුළුවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

විශේෂයෙන් අලින් සඳහා සුපෝෂණ කලාප ඇති කිරීම ඔස්සේ අලි–මිනිස් ගැටුම සඳහා දීර්ඝ කාලීන විසඳුම් සැපයීමේ වැදගත්කම පිළිබඳ කරුණු ගරු පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී. එමෙන්ම, ආසියානු රටක් වන ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා පර්යේෂණ සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මෙම වටමේස සාකච්ඡාවට රජයේ නිලධාරීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ප්‍රාදේශීය ප්‍රජා නියෝජිතයන් සහ වනජීවී සංරක්ෂණ විශේෂඥයන් ද සහභාගී වූහ.