මන්නාරම් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

මන්නාරම් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ
  • SocialShare:

මන්නාරමේ ඉදිවන මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය සුළං ටර්බයින ඇතුළු ප්‍රධාන උපාංග මේ වන විට ත්‍රිකුණාමලය වරායට ළඟා වී ඇති අතර, ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වේගවත්ව සිදු කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පළමු සුළං ටර්බයින තොගය සති කිහිපයකට පෙර දිවයිනට ළඟා වූ අතර, ඉතිරි උපාංග ද මේ වන විට ත්‍රිකුණාමලය වරායට පැමිණ ඇති බවයි. එම උපාංග ගොඩබෑමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, ජාතික විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය බලශක්ති ප්‍රතිශතය ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම 2050 වන විට ශුද්ධ ශූන්‍ය (Net Zero) කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය වැදගත් වනු ඇත.

මෙම බලාගාරයෙන් නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් 0.0465ක (රුපියල් 14.37ක පමණ) මිලකට මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගත වී ඇති අතර, මෙරට සුළං බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන වාර්තාගත අඩුම මිල මෙය බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

බලාගාරය ජාතික විදුලි පද්ධතියට එක්වීමෙන් පසු පොසිල ඉන්ධන ආනයනය අවම කරමින් වාර්ෂිකව රුපියල් බිලියන 4.7ක පමණ විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලියක් යටතේ Hayleys Fentons PLC විසින් සුළං ටර්බයින ස්ථාපනය හා නඩත්තු කටයුතු සිදු කරන අතර, National System Operator (NSO) විසින් බලාගාරයේ පද්ධති පාලනය සහ කළමනාකරණය භාරගැනීමට නියමිතය.