පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් විවිධ ආයතන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තා පිළිවෙලින් නීතිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා ගෙන ඇති තීරණවලට අද (21) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ඒ අනුව, විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් 2022 මැයි 1 සිට 2023 සැප්තැම්බර් 15 දක්වා ක්‍රියාත්මක කළ යෝජනා ක්‍රමය පිළිබඳව කෝපා කාරක සභාව විසින් 2025 ඔක්තෝබර් 24 දින සිදු කළ විමර්ශනයට අදාළ වාර්තාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමට අනුමැතිය හිමි විය.
එසේම, කෝප් කාරක සභාව විසින් සිය රැස්වීම්වලදී සිදු කළ විමර්ශනවලට අදාළව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා මඟින් අනාවරණය වූ සිද්ධීන් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිසි පියවර ගැනීම සඳහා එම වාර්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට ගෙන ඇති තීරණය ද පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.
ඒ අනුව, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, ලංකා සතොස ලිමිටඩ්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ වාර්තා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කෙරෙනු ඇත.
මෙම අනුමැතිය ලබා දී ඇත්තේ 2026 අප්‍රේල් 7 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ස්ථාවර නියෝග 119(4) සහ 120(4) සංශෝධනවල විධිවිධාන අනුවය.


