ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත.
ජූලි 21 අඟහරුවාදා ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ වැදගත් තීරණ දෙකක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය. එහිදී විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා පූර්ණ විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා (COPE) වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධ තීරණය මෙන්ම, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (COPE) වාර්තාවලින් හඳුනාගත් සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමේ තීරණය ද විවාදයට ගැනීමට නියමිතය.
එදින පස්වරුවේ දසවැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ වැඩ කටයුතු හා කාර්ය සාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතය.
ජූලි 22 බදාදා දිනයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.
ජූලි 23 බ්‍රහස්පතින්දා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට්පත්‍ර දෙකක රෙගුලාසි අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
ජූලි 24 සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතය. කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත බව ප්‍රවර්ධනය කිරීම, කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම, දුම්රිය මාර්ග පුළුල් කිරීම, කොවිඩ්-19 සමයේ මුස්ලිම් මෘතදේහ ආදාහනය පිළිබඳ විමර්ශනයක් සඳහා කොමිෂන් සභාවක් පත් කිරීම, රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම වැළැක්වීම, වන සතුන් කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ සංවර්ධනයේ කලාපීය විෂමතා අවම කිරීම සඳහා විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවීම ඇතුළු යෝජනා ඒ අතර වේ.
එමෙන්ම, එදින අවසානයේ විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතය.


