ඉන්දුනීසියානු තානාපතිනිය සහ අග්‍රාමාත්‍ය ලේකම් අතර හමුවක්

ඉන්දුනීසියානු තානාපතිනිය සහ අග්‍රාමාත්‍ය ලේකම් අතර හමුවක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපති  Dewi Gustina Tobing මහත්මිය 2026 ජූලි 14 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවිය.

මෙම හමුවේදී  ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ අවධානය යොමු වූ අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා වසර 75ක් සපිරීම 2027 වසරේදී සැමරීමට කටයුතු සූදානම් බව ද මෙහිදී සිහිපත් කෙරිණි.

දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා සංස්කෘතික හුවමාරු පුළුල් කිරීම සහ විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය ඔස්සේ ජනතා සම්බන්ධතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

එසේම, පවතින වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ ද දෙපාර්ශවයේ අවධානය යොමු විය. මෙරට රෙදිපිළි හා ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දුනීසියාව උනන්දුවක් දක්වන බව තානාපතිනිය මෙහිදී  සඳහන් කළා ය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැනුම, විශේෂඥතාව සහ භාවිතයන් හුවමාරු කරගැනීම තුළින් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට කොළඹ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයේ උපදේශක Yadi Suriahadi මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග හා මධ්‍යම ආසියා අධ්‍යක්ෂ මහේෂ් ප්‍රේමතිලක මහතා ද එක්ව සිටියහ.