‘පුනරුදයේ පුරවර’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා කුඩා පාලම් 881 ක් ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ඔරුගොඩවත්ත - කර්මාන්තපුර දෙපා ඇල හරහා පිහිටි පාලම නැවත ඉදිකිරීම ඊයේ (14) ආරම්භ කෙරිණ.
පාලමේ ඉදිකිරීම් කොලොන්නාව සංවර්ධන කමිටු සභාපති, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පලාත් පාලන ආයතන නියෝජිතයින්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.
රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පලාත් පාලන ආයතනවල කුඩා පාලම් වැඩිදියුණු කිරීමේ තිරසර ව්‍යාපෘතිය - 2026 මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. පාලමේ ඉදිකිරීම් පිරිවැය රුපියල් ලක්ෂ 93 කි.
නාගරික සහ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ඔවුන්ගේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය නගා සිටුවීමේ රජයේ වැඩපිළිවෙලට අනුව මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. සියලුම පලාත් පාලන ආයතනවලින් ලබාගත් වාර්තා මත පදනම්ව සංවර්ධනය කලයුතු ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර දී ඇත. මෙය සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස නිම කිරීමට සැලසුම් කර ඇති අතර, පාලම් 881 ක් තෝරාගෙන 2026 වසර තුලදී මෙහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 1,050 ක වියදමින් පාලම් 100 ක සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙනු ඇත.
වැඩ ඇරඹුම් අවස්ථාවට එක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අදහස් දක්වමින් ;
‘ආණ්ඩුව විදියට විවිධ ව්‍යාපෘති රට තුල ක්‍රියාත්මක කරමින් ජනතාවට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරන්නත් ඒ හරහා ලැබෙන ප්‍රතිලාභ ලබාදීමටත් කටයුතු කරමින් සිටිනවා. මේ වනවිට ග්‍රාමීය ජනතාව කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. අද දින කුඩා පාලම් 881 ක ව්‍යාපෘතියේ පළමු අදියර දිවයින පුරා ආරම්භ කරනවා.
කොලොන්නාව ආසනයේ දීර්ඝකාලීනව පවතින ගංවතුර ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. ‘දිට්ටා’ වෙන් වැඩිම හානිවුණේ කොලොන්නාව ආසනයට. එමනිසා නාගරික ගංවතුර ගැටළුව පාලනයට මේ ව්‍යපෘති වැදගත් වෙනවා. පාලමක් කියන්නෙ ප්‍රතිලාභ ගණනාවක් ලැබෙන ව්‍යාපෘතියක්. ගමනාගමනය, ගංවතුර, වැහිවතුර පාලනය, ප්‍රදේශ අතර සම්බන්ධතා ඇති කිරීම ඇතුළු ප්‍රයෝජන රැසක් ලබාදෙනවා.
මෙම ව්‍යාපෘති ලබාගැනීම සදහා නිලධාරීන් විදියට දේශපාලන අධිකාරිය සමග සම්බන්ධ වී කටයුතු කිරීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. පහුගිය ආණ්ඩු කාලේ සංවර්ධන කටයුතුවලදී නිලධාරීන්ටත් දේශපාලඥයින්ටත් ව්‍යාපෘතියෙන් කොටසක් වෙන්කර ගත්තා. නමුත් අපේ රජය යටතේ ඒ සංස්කෘතිය අවසන් කරා. නමුත් නිලධාරීන් සුළු පිරිසක් තවමත් වෙනස් වෙලා නැහැ. ඒවා නිවැරදි කරන්නත් කටයුතු කරනවා. ඉදිරියේදී ඒවාටත් උත්තර දෙනවා. ඒ වගේම සංවර්ධනයේදී කැපවී වැඩ කරන නිලධාරීන් ඉන්නවා. මෙම ව්‍යාපෘතිය ලබාගැනීමේදීත් නිලධාරීන් ඒ සදහා කැපවුණා; උනන්දු වුණා. ඔවුන් වගකීම, වගකීමක් ලෙස ඉෂ්ඨ කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. දෙයක් පාත්‍රයට වැටෙනකල්ම බලා නොසිට සොයා බලා කටයුතු කිරීම අගය කරනවා.
මේවා රටේ මුදල්. එමනිසා මෙම ව්‍යාපෘති පවත්වාගෙන යමින් දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීමට නිලධාරීන් සහ ජනතාව වගකීමෙන් කටයුතු කළයුතු වෙනවා.’
මෙම අවස්ථාවට කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජේමුණි, එහි උප සභාපති සේනක සමන් සෙනෙවිරත්න, එහි නාගරික මන්ත්‍රීවරුන් වන හර්ෂ නලින් හේමරත්න, සාගර සම්පත්, රංජිත් කුමාර, පිර්දොස් මව්ලවි, එස්. කේ. ශෂිකලා, නගර සභා ලේකම් නෙළුම් කුමාරි, එහි වැඩ අධිකාරි ජීවන චතුරංග යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.


