මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය රජය කිසිසේත් සුළුවෙන් නොතකන බවත්, ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද(07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
සිද්ධියට හේතු සොයා බලා එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට පියවර ගැනීම රජයේ වගකීම බවත්, ඒ සඳහා කැබිනට් මණ්ඩලය විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු මියගිය බව සඳහන් කළ අමාත්‍යවරයා, මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය පළ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ගැටුමට සම්බන්ධ රැඳවියන් අතට ආයුධ ලැබී තිබූ බවත්, ඔවුන් යකඩ ගේට්ටුවක් කඩා බන්ධනාගාරයෙන් පිටතට පැමිණ ඇති බවත්ය. බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය සහ අනීතික ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම මෙම සිද්ධියට හේතු වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය..
ගැටුමේදී නිරායුධ නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාර එල්ල වූ බවත්, ඔවුන් බේරා ගැනීමට පැමිණි අනෙකුත් නිලධාරීන්ට ගඩොල් හා පොලුවලින් පහරදී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු විසඳීමට පියවර ගන්නා බවත්, පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය කටයුතු කර ඇති බවත් ඔහු පැවසීය. බන්ධනාගාරවල පුරප්පාඩු 1,348ක් තිබූ බවත්, ඒ් අතරින් නිලධාරීන් 401 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ඉතිරි පුරප්පාඩුද ඉදිරියේදී පිරවීමට කටයුතු කරන බව සඳහන් කළේය.


