2030 වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීම අරමුණු කරගත් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන අද (15) ආරම්භ කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ දිවයින පුරා තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස 2026 වසර තුළ තේ පරීක්ෂක කොට්ඨාස 144ම ආවරණය වන පරිදි තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට නියමිතය.
කුඩා තේවතු අංශය නවීකරණය කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ තේ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය වේගවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වේ.
ඒ අනුව කුඩා තේවතු ගොවීන්ගේ දළු අස්වැන්න හා ඵලදායිතාව වැඩිදියුණු කිරීම, ගොවි ආදායම ඉහළ නැංවීම, අගය එකතු කළ තේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, තේ කර්මාන්තය සංචාරක කර්මාන්තය සමඟ ඒකාබද්ධ කිරීම, නවීන හා තිරසාර වගා තාක්ෂණ හඳුන්වාදීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නිෂ්පාදන සමූපකාර ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
සෑම තේ ගම්මානයක් සඳහාම අධිඝනත්ව තේ වගා ආදර්ශන බිම්, නව තේ පැළ තවාන්, කුඩා තේවතු සඳහා රක්ෂණ ආවරණ, විශ්‍රාම වැටුප් ක්‍රමයක්, සහනදායී ණය පහසුකම්, යාන්ත්‍රීකරණ සහාය, Handmade තේ නිෂ්පාදනය සඳහා පුහුණුව හා උපකරණ, සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධතා, අතිරේක ආදායම් මාර්ග සංවර්ධනය, පුනර්ජනනීය කෘෂිකර්මාන්තය පිළිබඳ පුහුණුව සහ යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළත් සමෝධානික සංවර්ධන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා එක්විය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ තේ ගම්මාන 500 වැඩසටහනේ මූලික අරමුණ ග්‍රාමීය දුප්පත්කම අවම කර ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම බවයි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය සේවය සහ ජනතාව යන සියලු පාර්ශ්වයන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ගොවි ජනතාව තම වගාබිම් සංවර්ධනය කිරීම සඳහා වැඩි කැපවීමක් දැක්විය යුතු බවද අවධාරණය කළේය.
රටේ ආර්ථික සංවර්ධන ඉලක්ක සාර්ථක කර ගැනීමට ආණ්ඩුව, රාජ්‍ය සේවය සහ ජනතාව එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළ අමාත්‍යවරයා, ඒ සඳහා සියලු පාර්ශ්වයන්ගේ වගකීම සහ කැපවීම අවශ්‍ය බවද වැඩිදුරටත් පැවසීය.


