අධිකරණ පද්ධතිය තුළ පවතින නඩු ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අභිචෝදක කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. මීට සමගාමීව එහි උප කාර්යාල ද දිවයින පුරා පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අද (11) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී අජිත් පෙරේරා මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ පවතින මානව සහ තාක්ෂණික සම්පත්වල හිඟකම හේතුවෙන් මෙම ප්‍රමාදයන් සිදු වන බවයි.
මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ ලබාදීමට හැකි වන පරිදි නව වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය නව සේවක බඳවා ගැනීම් මේ වන විටත් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය නව නීති නිලධාරීන් බඳවා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා පවත්වා, ඊට අදාළ කටයුතු සූදානම් කරමින් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය මඟින් මෙරට ජනතාවට කඩිනම් යුක්තිය ඉටුකිරීම රජයේ මූලික අරමුණ බව ද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කළේය.


