ඉදිරියේදී ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මාර්ග බලපත් ලබා නොදෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස්රථ ධාවනය කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. බස්රථ සඳහා මාර්ග බලපත් ලබාදීම දූෂිත සහ මාෆියක් ලෙස පසුගිය වසර කිහිපය පුරා ක්‍රියාත්මක වූ බවත්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී වැඩි ප්‍රමාණයක් කටයුතු කර තිබෙන්නේ මෙම ක්‍රමවේදයට බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කර එම කරුණු ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී කිසිදු රූට් පර්මිට් එකක් ටෙන්ඩර් කිරීමකින් තොරව ලබා නොදෙන බවද කීය.
ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා කීය.
දැනට දකුණු පළාතේ ඒකාබද්ධ කාල සටහන් ක්‍රමය ක්‍රියාත්මක වන අතර , ඉදිරියේදි පුත්තලම් දිස්ත්‍රික්යේදීද මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව කීය. පසුගිය සමයේ ලංගම ආයතනය හොර රහසේ විනාශ කර ඇති බවත්, මේ නිසා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය එක්වරම ක්‍රියාත්මක කළ නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා ලංගම බස්රථ සඳහා ක්‍රමයෙන් ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කරන බවද කීය. ග්‍රාමීය මාර්ගවල තිබෙන ගැමි සැරිය බස්සේවාව ඉදිරියේදී ක්‍රමවත්ව ක්‍රියාත්මක කර බස් රථ ධාවනය නොවන දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවද කීය


