ඉදිරි වසර 05තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක්

ඉදිරි වසර 05තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක්
  • SocialShare:

ඉදිරි වසර 05තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් සිදුකරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

අද (09) පාර්ලිමේන්තුවේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
පොදු ප්‍රවාහනයේ සුව පහසුව වගේම ආරක්ෂිතබව සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත්, ඉදිරියේදී නවීණ පහසුකම්වලින් සමන්විත ප්‍රමිතියක් සහිත බස්රථ පමණක් මගී ප්‍රවාහනය සඳහා ආනයනය කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. එම බස්රථ ධාවනය සඳහා සුදුසු මාර්ග පද්ධතියක් තිබිය යුතු බවත් ගම්මාන සහ වතුකරයට ප්‍රවාහන පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බවද පැවසීය.


වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසිය.

ඇතැම් බස් ගම්වලට යවන්න බැහැ.පාරවල් පටුයි. පොදු ප්‍රවාහනයේ සුවපහසු බව වගේම ආරක්ෂිත බව තිබිය යුතුයි කියා අපි පිළිගන්නවා. ඉදිරියේදී බස් රථ ආනයනය කිරීමේදී සුවපහසු බස්රථ පමණක් ආනයනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.ඒ වගේම තිබෙන බස්රථ ගැනත් අපි තීන්දු තීරණ ගත යුතුයි. පතුළ පහත බස්රථ ආනයනය කිරීම සම්බන්ධයෙන් අපගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා. ඉදිරියේදි ඉලෙක්ට්‍රික් බස් රථ සඳහා වැඩිවශයෙන් යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරියේදී පොදු ප්‍රවාහනය සඳහා භාවිතා වන බස්රථ, ත්‍රීවිල් නියාමනය කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ජාතික ගමාන ගමන කොමිෂන් සභා පනත සංශෝධනය පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළබවත් ඒ අනුව ඉදිරියේදී පොදු ප්‍රවාහනය සඳහා භාවිතා වන වාහන නියාමනය කිරීමට බලය ලැබෙන බවද කීය.


පසුගිය කාලයේ ලොකු කතා බහක් ඇති වුණා බස්වල කෑලි ගැලෙව්වා කියලා. නමුත් බස්වල කෑලි ගැලෙව්වා නෙමෙයි. අපි ඒ දැනුවත් කිරීමේ වැඩසටහනක් කරමින් ගියේ.මේ මාසය ඇතුළත අපි දිනයක් නියම කරනවා. ඉන් පසු ඔය විදියට තොරොම්බල් කඩවගේ බස් ධාවනය කරන්න බැහැ. නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳව දැනුවත් කරයි. මින් පසු බස්රථවල තොරන් බලන්න දෙන්නේ නැහැ. නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.