මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම යටතේ තවත් සහන රැසක්

    මැයි 31, 2019

    වසරක් තුළ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තව දුරටත් පුළුල් කරමින් අලුතෙන් ණය යෝජනා ක්‍රම අටක් සඳහා ද මූල්‍ය පහසුකම් ලබා දීමට රජය තීරණය කරයි.

    2019 අයවැය යටතේ යෝජිත මෙම ණය යෝජනා ක්‍රම පුළුල් කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව
    සඳහා ක්‍රියාත්මක රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය හරහා සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණෙන් සංචාරක බෝට්ටු සහ ජලාශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා වන උපකරණ මිල දී ගැනීමට ද ණය පහසුකම් ලබා දේ. රුපියල් මිලියන 250ක උපරිමයක් දක්වා මෙම ණය මුදල ලබා ගත හැකි වේ.


    නව පාසල් බස් රථ ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක රිය ශක්ති ණය යෝජනා ක්‍රමය දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක පාසල් බස් රථ හිමියන්ගේ සංගම්වල නිර්දේශ මත එහි සාමාජිකයන්ට ද බස් රථ මිල දී ගැනීම සඳහා සහන දායී ණය ලබා ගත හැකි ය.
    මීට පෙර ක්‍රියාත්මක මූ මැදි ආදායම් නිවාස යෝජනා ක්‍රමය යටතේ ලබා දුන් රුපියල් මිලියන 5ක නිවාස ණය වෙනුවට ‘හෝම් ස්වීට් හෝම්‘ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙමින් එම ණය මුදල රුපියල් මිලියන 10 දක්වා ඉහළ දමා තිබේ. වසර 25ක් දක්වා ගෙවීමේ පහසුකම් සලසා ඇති මෙම ණය මුදල වෙනුවෙන් ණයකාර පාර්ශ්වය ගෙවිය යුතු පොලී අනුපාතය 6%කි. මෙතෙක් වසර 05ක කාලයක් සඳහා පමණක් හිමි වූ එම පොලී සහනය වසර 15ක් දක්වා දීර්ඝ කර ඇත.

    විදේශ ගත ශ්‍රමිකයන්ට මෙරට නිවාස ඉදි කර ගැනීම සඳහා ‘සිහින මාලිගා‘ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වූ අතර බොහෝ ශ්‍රමිකයන් අදාළ සේවා යෝජකයන් සමග වසර දෙකක් වැනි කෙටි කාලීන ගිවිසුම්වලට එළඹෙන බැවින් රුපියල් මිලියන 10ක උපරිම ණය මුදලක් වසර 15ක් වැනි කාලයක් සඳහා එක වර ලබා දීමේ හැකියාවක් නොමැත. එබැවින් නව සංශෝධනය යටතේ අදාළ ණය මුදල කොටස් වශයෙන් ලබා දීමට යෝජිත අතර නිවාස යෝජනා ක්‍රමවලින් නිවාස මිලදී ගැනීම සඳහා ද මෙමගින් ණය ලබා දෙනු ලබයි.

    නව නිවසක් ඉදි කර ගැනීම, පවත්නා නිවස අලුත්වැඩියා කිරීම, දැනට පවතින නිවස ඉවත් කර අලුත් නිවසක් ඉදි කිරීම, ඉඩමක් මිල දී ගෙන නිවසක් ඉදි කිරීම සහ නිවසක් මිල දී ගෙන අලුත්වැඩියා කිරීමට මෙම ණය මුදල ලබා ගත හැකි ය.

    බස් රථ මිල දී ගැනීම සඳහා වන සිටි රයිඩ් ණය යෝජනා ක්‍රමය යටතේ ණය ආපසු ගෙවීම සඳහා වසර 05ක කාලයක් හිමි වන අතර ඒ අතරින් දැනට මාර්ග බලපත්‍ර හිමි හෝ අපනයන ප්‍රමුඛ ආයතනය සඳහා ප්‍රවාහන පහසුකම් දැනටමත් ලබා දෙනු ලබන බස් රථ හිමියන් වෙත ණය ගෙවීමේ සහන කාලයක් අවශ්‍ය නොවේ.

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයේ ව්‍යාවසායකන් බිහි කිරීමේ ප්‍රදානතම ණය යෝජනා ක්‍රමය වන ජය ඉසුර ණය යෝජනා ක්‍රමය යටතේ තොරතුරු තාක්ෂණ ආශ්‍රිත ව්‍යපාරවල නිරත වූවන්ගේ නවෝත්පාදනවලට සහ ව්‍යාපාර පුළුල් කිරීමට ද පහසුකම් සැලසේ.

    මිනි ටැක්සි සහ විදුලි ත්‍රිරෝද රථ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙනු ලබන ණය මුදල රුපියල් 250,000කින් ඉහළ දමා තිබේ. වාහනවල මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ දැමෙන මෙම මුදලත් සමග මේ යටතේ ලැබෙන උපරිම ණය මුදල රුපියල් 2,250,000 දක්වා වැඩි කෙරේ.


    රජයේ විශ්ව විද්‍යාලවලින් උපාධියක් හැදෑරීමට අවස්ථාව අහිමි වන්නන් වෙනුවෙන් උසස අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක ‘මගේ අනාගතය‘ ණය යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයකින් අදාළ පාඨමාලාව හැදෑරීම සඳහා අවස්ථාව හිමි වන අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 11ක ණය මුදලක් ලබා දෙනු ලබයි. ඒ වෙනුවෙන් වූ පොලී අනුපාතය වාර්ෂික සඵල පොලී අනුපාතය, (Average Weighted Prime Lending Rate) + 2% වෙනස් කෙරේ.

    එසේ ම අදාළ උපාධිය හෝ පාඨමාලාව සම්පූර්ණ කිරීමට වූ, ණය පියවීමට නොහැකි වූ හෝ සාධාරණ ලෙස ණය පියවිය නොහැකි වූ අවස්ථාවන් හි දී ණය ශේෂය අදාළ උපාධි අපේක්ෂකයාගෙන් හෝ ඇපකරුගෙන් අය කර ගත යුතුය. එම මුදල අය කර ගත නොහැකි වුවහොත් රජය විසින් අදාළ උපචිත පොලිය සමග ණය මුදලේ ශේෂය බැංකුව වෙත ගෙවනු ලැබේ.


    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ පොලී සහන ණය යෝජනා ක්‍රමය 17ක්, ප්‍රතිමූල්‍ය ණය යෝජන ක්‍රම 03ක් සහ මූල්‍ය නොවන වැඩසටහන් 02ක් ලෙස සමස්ත යෝජනා ක්‍රමය 22ක් ක්‍රියාත්මක කෙරේ. පොලී සහන ණය යෝජනා ක්‍රම යටතේ පමණක් රුපියල් බිලියන 81කට ආසන්න ණය මුදලක් මේ වන විට අනුමත කර ඇති අතර ඉන් රුපියල් බිලියන 55ක මුදලක් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මගින් ණය ලෙස ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya