මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවන් මගින්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවන දූෂණ හා අක්‍රමිකතා අවම කර අනවශ්‍ය වියදම් අඩුකර ගත හැකියි

    මැයි 30, 2019

    රාජ්‍ය ආයතනවල භාණ්ඩ හා සේවා සැපයීම සදහා නව විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවන් ආරම්භ කොට ඇති අතර එහි වෙබ් අඩවිය විවෘත කිරීම මුදල් අමාත්‍යාංශයේ ඊයේ (29) පැවැති උත්සවයකයදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා අතින් සිදුකෙරිණි.

    මෙම විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවන් මගින් , ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවන දූෂණ හා අක්‍රමිකතා අවම කර අනවශ්‍ය වියදම් අඩුකර ගත හැකි බවත් මෙමගින් වසරකට රුපියල් බිලියන 27 ක පමණ මුදලක් ඉතිරි කර ගත හැකි බවත් වෙබ් අඩවිය විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවැසීය.

    රුපියල් බිලියන 3000 ක් පමණ වන රාජ්‍ය අයවැයේ වටිනාකමින් රුපියල් බිලියන 750 ක එනම් 25% ක්ම වැයකරනු ලබන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහාය.මෙම විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක වීම තුළින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවන දූෂණ අක්‍රමිකතා මෙන්ම ප්‍රමාදයන්ද වළක්වා ගත හැකි වන බවද ඇමැතිවරයා කීය.

    රාජ්‍ය ආයතනවලට අවශ්‍ය භාණ්ඩ සේවා හා වැඩ ප්‍රසම්පාදනය කරගැනීමට අවශ්‍ය දැන්වීම් මෙම වෙබ් අඩවිය හරහා පළකිරීම අනිවාර්ය කෙරේ.එමෙන්ම,සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලටද මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී රාජ්‍ය ආයතන වලින් පළකරන ප්‍රසම්පාදන දැන්වීම් වලට අදාළ ප්‍රසම්පාදන ඉල්ලුමට ප්‍රතිචාර පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකිවේ.මේ මගින් රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය , ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාවය වඩාත් පුළුල්වන අතර ප්‍රසම්පාදන ක්‍රමය තුළින් ඇති නොයෙක් අඩුලුහුඩු කම් සහ වංචා දූෂණවලට ඇති ඉඩකඩ අවම කෙරෙන බව මෙහිදි අදහස් දැක්වූ මුදල් අමාත්‍යාශයේ හා භාණ්ඩාගාරයේ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා පැවැසීය.

    සියලුම රාජ්‍ය ආයතනවලට මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව යටතේ පවත්නා මෙම promise.lk වෙබ් අඩවියට පිවිසීම තුළින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය භාවිත කළ හැකිවන අතර ඊට පිවිසීම සදහා ලියාපදිංචි මුරපදයක් ලබාගත යුතු යැයි වෙබ් අඩවිය භාරව කටයුතු කරන රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියංග අල්ගම මහතා මෙහිදී කීය.

    මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ උසස් නිළධාරීන් , අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya