සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිස්වලින් අතමිට සරු වූ අනුරාධපුර ගොවීන් ලොකු ලූනු අස්වනු නෙළීමට සූදානමින්

    ජූලි 16, 2014
    කෘෂිකර්ම අමාත්‍යතුමාගේ මඟපෙන්වීම මත කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වයෙන් දේශීය ලොකු ලූනු සහ මිරිස් නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකි වූ බවත් ඉදිරියේ දී මෙම නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපේක්ෂාව බවත් එම අමාත්‍යාංශය පවසයි.

    ගොවීන් වෙත මිරිස් බීජ නොමිලේ ලබාදීම සහ 50%ක දායකත්වය යටතේ මිරිස් බීජ ලබාදීම මඟින් ගොවීන්ව වගාව වෙත නැඹුරු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ දිනවල මිරිස් සඳහා වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් පවතින නිසා මිරිස් වගා කළ ගොවීන්ට සාර්ථක ආදායමක් උපයා ගැනීමට හැකි විය. මිරිස් වගාවෙන් අස්වනු ලබා ගනිමින් සිටින අනුරාධපුර ගොවීන් ලොකු ලූනු අස්වනු නෙළීමට ද සූදානම් වෙමින් සිටී. කෘෂිකර්ම අමාත්‍යාංශය වගාව සඳහා ගොවීන් වෙත දක්වන සහයෝගය අගය කළ ගොවි මහතුන් රටේ ජාතික නිෂ්පාදනය ඉහළ නැංවීමට රට වෙනුවෙන් තමන්ගේ උපරිම දායකත්වය ලබාදෙන බව පැවසූ ව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

     

    අතිරේක ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩසටහන් රාශියක් ආරම්භ කර තිබේ. ඒ අනුව හඳුනාගත් ප‍්‍රදේශ රැසක ලොකු ලූනු සහ මිරිස් වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ. අනුරාධපුර දිස්ත‍්‍රික්කය තුළ පමණක් හෙක්ටයාර් 700ක පමණ මිරිස් වගා කිරීමටත් හෙක්ටයාර 900ක පමණ ලොකු ලූනු වගා කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගත් බව එම අමාත්‍යාංශය පවසයි.

     

    ඒ අනුව බෝග වගා කිරීමට සුදුසු නියමිත කාල වකවානුව තුළ පමණක් වගා කරන බෝගවලට අමතරව ඉන් බැහැරව අවාරයේ වගාව තුළින් ද රටේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට මේ අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස අවාරයේ වගාව ව්‍යාප්ත කරමින් රටේ ආහාර නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සමත් වී තිබේ. යම් බෝගයක් සාම්ප‍්‍රදායිකව වගා කරන ඊට ආවේණික ප‍්‍රදේශවල වගා කිරීමෙන් ඔබ්බට ගොස් එම බෝග වගා කළ හැකි ප‍්‍රදේශ අලුතින් සොයා ගෙන එම ප‍්‍රදේශවල වගා කටයුතු සිදු කිරීමෙන් ද රටේ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකි වී තිබේ.

     

    විශේෂයෙන් අවාරයේ ලොකු ලූනු වගාව ව්‍යාප්ත කිරීම තුළින් විශිෂ්ට ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකිවීම වත්මන් කෘෂි ක්ෂේත‍්‍රය ලද සුවිශේෂී ජයග‍්‍රහණයකි. ප‍්‍රධාන වශයෙන් දඹුල්ල, සීගිරිය වැනි ප‍්‍රදේශවල සිදු කළ ලොකු ලූනු වගාව වෙනත් ප‍්‍රදේශවල ව්‍යාප්ත කිරීමට හැකි වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය යටතේය. ඒ අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලගස්වැව ප‍්‍රදේශයේ ලොකු ලූනු වගා කිරීම මඟින් සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට ගොවීහු සමත් වූහ. ලොකු ලූනු නිෂ්පාදනයට අමතරව ලොකු ලූනු බීජ නිෂ්පාදනයට ද මෙම ප‍්‍රදේශයේ ගොවීන් යොමු වී තිබේ. 

     

    ඉන්දියානු ලොකු ලූනු බීජවලට නැඹුරු වූ ගොවීන් මේ වන විට දේශීය ලොකු ලූනු බීජ වගා කිරීමට නැඹුරු වී ඇත. ලොකු ලූනු බල්බ වසන්තීකරණය (සති දෙකක කාලයක්‌ සෙන්ටිග්‍රේඩ් අංශක 8ට අඩු උෂ්ණත්ව පරාසයක ගබඩා කිරීම) කිරීමෙන් බීජ නිෂ්පාදනය කිරීමටත් 50%ක දායකත්වය මත ගොවීන්ට බීජ ලබාදී වගා වපසරිය වැඩි කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවත් ලොකු ලූනු වගාව තුළින් ඉහළ අස්වැන්නක් ලබා සාර්ථක ආදායමක් උපයා ගැනීමට ගොවි මහතුන් සමත් වූ අතර එය දේශීය ලොකු ලූනු අවශ්‍යතාව සපුරා ගැනීමට ද විශාල දායකත්වයක් ලබාදීමට සමත් වූ බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කළේය.   

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya