සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජූලි 17 -18 මහනුවර ඩෙංගු මර්දනයට

    ජූලි 16, 2014
    මහනුවර දිස්ත්‍රික්කය තුළ ජූලි 17 සහ 18 යන ‍දෙදින ඩෙංගු මර්දන දින දෙකක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබෙන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. 

    ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සඳුදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවති දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදීය.

    ඉකුත් වසරවල අත්දැකීම් සමඟ සංසන්දනය කරන විට සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇත්තේ ජූනි, ජූලි සහ අගෝස්තු මාසවලය. මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට කඩින් කඩ ලැබෙන වාර්ෂාව මීට හේතු විය හැකි බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිලානි ප්‍රනාන්දු මහත්මියගේ අදහසයි. එබැවින් මෙවර එවැනි තත්ත්වයක් ඇතිවීම වලක්වා ගැනීම ඩෙංගු මර්දන දින දෙකක් ප්‍රකාශයට පත් කිරීමට හේතු වී තිබේ.

    ඒ අනුව ජූලි 17 වැනි දින මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම නිවාස, රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවල ශ්‍රමදාන පවත්වමින් ඩෙංගු රෝගය බෝවීමේ අවදානම් තත්ත්වයේ පවතින ස්ථාන පවිත්‍ර කිරීමට නියමිතය. 18 වැනි දින පෙර දින පැවැත්වූ ඩෙංගු මර්දන වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක වූයේ දැයි සොයා බැලීමට විශේෂ කණ්ඩායම් යොදවා ඔවුන් විසින් ආදළ නිරීක්ෂණයන් ලබා දීමට නියමිතය.

    පසුගිය වසරවලට සාපේක්ෂව සසඳන විට මෙම වසරේ මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ඉතා සාර්ථකව සිදු වී ඇති බව පැවසූ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය දිස්ත්‍රික්කය පුරා සැලසුම් සහගතව සිදු කළ ඩෙංගු මර්දන වැඩසටහන් ඊට හේතු වූ බව පවසයි. 2014 ජනවාරි සිට මේ දක්වාම ඩෙංගු රෝගයෙන් මිය ගොස් ඇත්තේ දෙදෙනෙකු පමණි. ඉන් එක් අයෙක් වෙනත් ප්‍රදේශයක සිට මහනුවරට තාවකාලිකව පැමිණි අයෙක් බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය.

    ඩෙංගු මර්දනය සඳහා මහනුවර දිස්ත්‍රික්කය තුළ දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුව සහ ප්‍රාදේශීය ඩෙංගු මර්දන කමිටු සෑම මසකම රැස් වී ඩෙංගු මර්දනය සඳහා විශාල වැඩකොටසක් සිදු කරයි. ජූනි මාසය තුළ පමණක් දිස්ත්‍රික්කයේ දූමායන වැඩසටහන් 34ක් සිදු කර ඇත. ඊට අමතරව මහා පරිමාන පිරිසිදු කිරීමේ වැඩසටහන් 81ක් කුඩා ප්‍රමාණයේ පිරිසිදු කිරීමේ වැඩසටහන් 282 සහ පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් 253ක් වශයෙන් ඩෙංගු මර්දන ශ්‍රමාදාන පවත්වා තිබේ.

    ඩෙංගු ‍රෝගය වැළක්වා ගැනීමේ අරමුණින් ඩෙංගු රෝගය ව්‍යාප්ත වන අයුරින් කටයුතු කළ පුද්ගලයන් 264 නිවේදන නිකුත් කොට තිබේ. ඒ අතරින් 260 දෙනෙකුට‍ නඩු පවරා ඇති අතර එයින් 121 දෙනෙකු වරදකරුවන් බවට පත් වී තිබේ. 

    ජූලි 17 සහ 18 යන දෙදින පැවැත්වෙන ඩෙංගු මර්දන දින දෙක සාර්ථක කර ගැනීමට සියලුම නගර සභා සහ පළාත් පාලන ආයතනවලට හැකි උපරිම දායකත්වය ලබා දෙන ලෙස දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙත දැනුම් දුන් ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම පළාත් සභාව මඟින්ද මෙම වැඩසටහන සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දෙන බව ප්‍රකාශ කරන ලදී.

    මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන්  සංවිධානය කරනු ලැබූ මෙම රැස්වීම සඳහා මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා ඇතුළු පළාත් සභා සභාපතිවරු සහ රජයේ නිලධරීහු රැසක්ද සහභාගී වූහ.


    NDH/TA_dmu_kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya