සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක්

    ජූලි 25, 2024

     

     

    අද(25) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට අදාළව විශේෂ සාකච්ඡාවක් පසුගියදා (22) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ  මූලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව නියෝජනය කරන පිරිසක් එක්ව සිටියහ.  

     

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ඉදිරිපත් කෙරෙන මෙම පනත් කෙටුම්පත මෙරට ආර්ථික වර්ධනය සදහා ඉදිරිපත් කළ වඩාත් පුළුල් පනත් කෙටුම්පතක් බව  ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති  උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා මෙහිදී පනත් කෙටුම්පත හදුන්වාදෙමින් පැවසීය. ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා මෙම පනත මගින් විධිවිධාන සලසා තිබේ. ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළදාම සදහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳ ආයතනය මෙම පනත මගින් ස්ථාපිත කිරීම සිදුවේ.  තවද නව පන‍තේ විධිවිධාන මගින් 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සදහාද විධිවිධාන සපයා ඇත.

     

    පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද අදහස් පළ කළහ. මෙම පනත් කෙටුම්පත ආර්ථික පරිවර්තනය නිවැරදි දිශානතියට යොමු කිරීම සදහා ගත් වැදගත් පියවරක් ‍වශයෙන් හදුන්වාදිය හැකි බව ද සිවිල් සංවිධාන නියෝජිතයෝ මෙහිදී අදහස් දැක්වූහ. එසේම  මෙහි ආර්ථික කොමිෂන් සභාවට පුද්ගලයන් පත් කිරීම සදහා මුදල් විෂය භාර අමාත්‍යවරයාට ඇති බලය සංකේන්ද්‍රණය වීම අවම කිරීමට පියවර ගැනීම, තවදුරටත් අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ගැනීම, පුද්ගලයන් පත් කිරීමේදී දේශීය හෝ විදේශීය සුදුසුම පුද්ගලයන් පත් කිරීම සදහා වැඩි ඉඩක් සැපයීම ,ආයෝජන සදහා පවතින ඉඩම් ගැටලුවට විසදුම් ලබාදීම, කර්මාන්ත සහ සේවා සදහා ද වැඩි අවකාශයක් ලබා දීම   ඇතුළු  යෝජනාවන් ගණනාවක් මෙහිදී ඉදිරිපත් විය.

     

    මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා පවසා සිටියේ ආර්ථිකය නව දිශානතියකට යොමු කි‍රීම සදහා වැදගත් පනතක් ලෙස මෙම පනත් කෙටුම්පත හදුන්වාදිය හැකිවුව ද සාකච්ඡා වූ යෝජනා සහ අදහස් ඊට එක්විය යුතු බවයි. එකී සියලු කරුණු පනතට එක් කිරීමට ‍නොහැකි වුව ද ඒවා අනුනීති (නියෝග/ රෙගුලාසි) වශයෙන් ඒවා ක්‍රියාත්මක කළ හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම මෙම සාකච්ඡාව සංවිධානය කිරීමට සහ ඒ සදහා සහභාගීවූ සියලු දෙනාටම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා සිය ස්තූතිය පළ කර සිටියේය.

     

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන වෙස්මිනිස්ටර් පදනම සමග එක්ව සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාව සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද වෙරිටේ රිසර්ච්, ඇඩ්වකාටා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු ආයතන කිහිපයක නියෝජිතයෝද එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya