මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරාසල් 349ක බලපත‍්‍ර අවලංගු කිරීමට ජනපතිගෙන් නියෝග

    මාර්තු 17, 2015
    සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් නීති විරෝධි ලෙස දිවයින පුරා පාසල්, විහාරස්ථාන සහ ආගමික ස්ථානවලට මීටර් 500ක් ඇතුළත පවත්වාගෙන යන සුරාසල්වල බලපත‍්‍ර වහාම අවලංගු කර එම සුරාසල් වසාදැමීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
     
    එලෙස පවත්වාගෙන යන සුරාසල් 349ක් පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර අද (17) සිට කි‍්‍රයාත්මක වන පරිදි ඒවා වසාදැමීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.
     
    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ඒකාබද්ධ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් කමිටු රැස්වීමට එක්වෙමිණි.
     
    වත්මන් රජය විසින් කි‍්‍රයාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති අතර එම කටයුතු පිළිබඳ ව ද මෙහිදී සාකච්ඡා විය.
     
    මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නීතිපතිවරයා වෙත උපදෙස් ලබා දුන්නේය.
     
    එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතු තදින්ම කි‍්‍රයාත්මක කරන ලෙසද පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.
     
    බූස්ස එළිමහන් සිර කඳවුරේ දැනට සිටින සිරකරුවන් සුළු පිරිස වෙනත් සිරකඳවුරකට යොමු කර බුස්ස එළිමහන් සිරකඳවුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගන්නා ලෙස ජනාධිපතිතුමා අධිකරණ අමාත්‍යංශයට උපදෙස් දුන්නේය.
     
    ලෝකයේ සංවර්ධන වන කිසිඳු රටක නගර මධ්‍යයේ සිරකඳවුරු පවත්වාගෙන නොයන අතර අපේ රටේ ද නගර මධ්‍යයේ ඇති සියලු කඳවුරු වෙනත් සුදුසු ස්ථාවලට යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන ලෙස ද උපදෙස් දුන්නේය.
     
    එමෙන්ම සෞඛ්‍ය විෂය පාසල් අධ්‍යාපනයට අනිවාර්යය විෂයක් බවට පත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන් ජනාධිපතිතුමා විභාගවලට අනිවාර්යය විෂයක් ලෙස නොව දරුවන්ට අනිවාර්යෙන් ඉගැන්විය යුතු විෂයක් බවට සෞඛ්‍ය විෂය පත් කිරිමට ජාතික අධ්‍යාපන ආයතන සමඟ සාකච්ඡා කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
     
    දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණය සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා අනු කමිටු කිහිපයක් පත් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන් අතර ලෝක දුම්වැටි දිනයට සමගාමීව දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණය සඳහා විශේෂ ජාතික වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.
     
    පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ වැඩම කර සිටි මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ති‍්‍රවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරිහු මීට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya