ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී

    මැයි 20, 2024

    වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි” ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් අද (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

    ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

    පූජ්‍ය මීතිරිගල ආරණ්‍ය සේනාසනවාසී පූජ්‍ය හෝමාගම ධම්මකුසල හිමිපාණන් වහන්සේ විසින් මෙම වැඩසටහනේදී “සතිමත්බව” වැඩීම පිළිබඳ සිසුන් ප්‍රායෝගික අභ්‍යාසයන්හි පුහුණු කිරීම සිදු කෙරිණි.

    මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ පෙන්වා දුන්නේ රටේ අනාගතය පවතින්නේ ළමා පරපුර මත වන අතර දරුවන්ගේ හැදියාව, ශික්ෂණය, කුසලතාව හා හැකියාව මත රටේ ඉදිරි ගමන තීරණය වන බවයි.

    විනය ගරුක, දක්ෂ ළමා පරපුරක් ඇති කිරීම වෙනුවෙන් සතිමත් බව පිහිටුවීමේ වැඩසටහන බෙහෙවින් වැදගත් වනු ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ එය සංවිධානය කළ සියලුදෙනා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි,

    2002 වසරේදී ඇමෙරිකාවේ වොෂින්ටන් හි ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ Religious diversity in United States නමින් ආගමික විවිධත්වය පිළිබඳ වැඩටහනක් පැවැත්වුණා. ලොව පුරා විවිධ ආගම් නියෝජනය කරමින් උගතුන් විශාල පිරිසක් ඊට සහභාගි වුණා. එහිදී එක විද්වතෙක් මෙසේ සඳහන් කරනවා.

    “තව දශක කිහිපයකින් ලෝකයේ අනාගතය වෙනමම මානයකට ගමන් කරනවා ඇතියි. ලෝකයේ ජනගහනය වැඩිවීම ස්වභාවිකයි. ඊට සමානුපාතිකව ලෝකයේ පවතින සම්පත් වැඩි වන්නේ නැහැ. ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනවා. එම සීමිත සම්පත් අසීමිත ජනගහනය අතර බෙදී යාම පිළිබඳව විශාල උනන්දුවක් තිබෙනවා. ඊට සුදුස්සන් බවට පත් වීමට ඔවුන් විශාල වෙහෙසක් දරනවා. එහි ප්‍රතිඵලය වන්නේ විශාල තරගකාරීත්වයක් ඇති වීමයි. තරගය වැඩි වන විට මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය වෙනත් මගක් ගන්නවා. උනුන් පරයා නැඟී සිටීමට දරන මේ ව්‍යායාමයත් සමඟ අපට හිමිවන දේට වැඩිය අහිමි වන දේ වැඩියි. මුලින්ම අහිමි වන්නේ මනුෂ්‍යත්වයයි. මනුස්සකම නොමැති සමාජයකට මොන දේ තිබුණත් වැඩක් නැහැ. මේ තරගකාරීත්වය තුළ මිනිසුන් යන්ත්‍ර බවට පත් වීම වැළැක්විය නොහැකියි. ඒතුළ නිදහස අහිමි වීමෙන් ආතතියට ලක් වෙනවා. මානසික පීඩාවට ලක්වෙනවා. ඒ තත්ත්වට පත් වූ විට ප්‍රීතියට පත් වීමට මිනිසුන් යමක් තෝරා ගන්නවා. ඒ තමයි සතිමත් බව.

    ඔහු සඳහන් කළ එම සතිමත් බව බුදු රජාණන් වහන්සේගේ දේශනාවේ කොටසක් වෙනවා. සතිමත්බවින් අපට මානසික හා කායික සුවතාව ගොඩනඟා ගත හැකියි. ප්‍රීතියට පත් විය හැකියි. නමුත් ඉන් ඔබ්බට ගිය බෞද්ධයන් ලෙස ආධ්‍යාත්ම විමුක්තිය වන නිවන කරා යාමට සම්මා සතිය වඩා ගත හැකියි. අද මේ වැඩසටහනින් රටේ අනාගතය බාර ගන්නා මේ දරුවන්ට කියා දෙන්නේ ඒ පිළිබඳවයි. මේ පුහුණුව ජීවිතයේ අභ්‍යාසයක් ලෙස පුහුණු කිරීමෙන් ඔබ ලබන ප්‍රතිලාභ රටේ අනාගතයටත් බලපාන බව කිවයුතුයි.

    නාරාහේන්පිට අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ, ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර යන මහත්වරු ඇතුළු නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya