නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා හේතුවෙන් උසස් පෙළ විභාගයට ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීමට වැඩපිළි‍වෙළක්

    නොවැම්බර් 25, 2024

    මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත අඩුපීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව පුරෝකථනය කර ඇත.

    එබැවින් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් හේතුවෙන් සිදුවන බාධා මගහරවා ගනිමින් මෙවර උසස් පෙළ විභාගය පවත්වා ගෙනයාම සඳහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. 

     

    මේ පිළිබඳව ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාල සියලු අංශ දැනුවත් කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශව ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.

    මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම තුළින් මෙවර උසස් පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කරයි. ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය කාලසීමාව තුළ විභාගයට පෙනී සිටින දූ දරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන්ට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සඳහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්ම තුළින් පෙන්වා දී ඇත.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව සමග ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අදාළ අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

    යම් සිදු දරුවකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක වන 0113 668020/0113 668100 / 0113668013 / 0113668010 සහ 076 3 117 117 යන අංක වෙත හෝ විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංකයට ඒ බව දැන්විය හැකි අතර හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya