78 වන නිදහස් සැමරුමේ බුදුරදුන්ගේ ශ්‍රී සර්වඥ ධාතූන් නමදිමු

78 වන නිදහස් සැමරුමේ බුදුරදුන්ගේ ශ්‍රී සර්වඥ ධාතූන් නමදිමු
  • SocialShare:

එළඹෙන පෙබරවාරි 04 වනදාට යෙදෙන ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් සැමරුමත් සමග තවත් මාහැඟි අවස්ථාවක් මෙරට බෞද්ධ ජනයාට උදා වෙනවා. බුදුන් දැක්කා හා සමාන ඉතාම විරල අවස්ථාවක් වන බුදුරජාණන් වහන්සෙගේ ශාරීරික ධාතූන් සියැසින් දැක බලාගෙන වන්දනාමාන කිරීමට මෙහිදී පිංකැමති සැමට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඉඩකඩ සැලසෙනවා.

1959 – 1963 අතර කාලයේදී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අරවල්ලි දිස්ත්‍රික්කයේ දෙව්නි මෝරි නම් ස්ථානයේ කරන ලද පුරා විද්‍යා කැණීම් වලින් බුදුන් වහන්සේගේ මෙම ශ්‍රී සර්වඥ ධාතූන් සොයා ගැනෙනවා.

දෙව්නි මෝරි යනු ඉන්දියාවේ ගුජරාටයේ පොහොසත් පුරාවිද්‍යා ස්ථානයක්. එහි විශාල බෞද්ධාරාම සංකීර්ණයක් පවතිනවා. මෙම ස්ථානයෙන් ශරීර ස්ථූපයක් ඇතුලු වැදගත් බෞද්ධ ඉදිකිරීම් රැසක් සොයාගෙන තිබෙනවා. මෙම ස්ථූපය ආශ්‍රිතව කරන ලද කැණීම් වලින් අනතුරුව මෙම ධාතූන් වහන්සේලා සොයාගෙන තියෙනවා.

මෙය ඉන්දියාවේ අතිශයින්ම වැදගත් පුරා විද්‍යා සොයා ගැනීම් අතරින් එකක්. මෙම ස්ථානයෙන් මංජුසා 02ක් සොයාගෙන තියෙනවා. මෙයින් එක් මංජුසාවක් කොළ පැහැති ෂිස් පාෂාණයෙන් සාදා තිබූ අතර එහි තඹ පෙට්ටියක්, රන් සහ රිදී පත්‍ර සමගින් පූජනීය භෂ්මාවශේෂ හමුවී තිබෙනවා.

මෙම මංජුසාවේ දසබල ශරීර නිලෙයි යනුවෙන් භ්‍රාහ්මීය අක්ෂර වලින් සහ සංස්කෘත භාෂාවෙන් සඳහන් වී තිබිණ. එහි තේරුම වන්නේ බුදුන් වහන්සේගේ ශරීර ධාතු තැන්පත් කර ඇති ස්ථානය යන්නයි.

මෙම ස්ථූපය ආශ්‍රිතව හමුවූ සෙල්ලිපියේ 03 වන රුද්‍රෙස්න රජු විසින් මෙම ස්ථූපය කරවා ඇතැයිද එය කත්ථික ඊරා එනම් ඉන්දියානු වර්ෂ ක්‍රමය අනූව කත්ථික වර්ෂයේ කරවා ඇතැයිද සඳහන් වෙනවා.

මෙම ශිලා ලේඛනය අනූව මෙම ධාතූන් නියම වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් බවත්, මෙම ස්ථූපය කරවූ රුද්‍රසේන රජු අයත් රාජ වංශය වන ශක ශස්සප රජවරුන් බෞද්ධාගමට සුවිසල් සේවයක් සිදුකළ රජවරු බවද සඳහන් වේ.

මෙම ලිපියෙහි ස්ථූපය මහා විහාරය ලෙස හඳුන්වා ඇති අතර මහා විහාර සම්ප්‍රදායේ විහාර ථේරවාද බුදු දහමට සම්බන්ධ විහාර ලෙස සැලකෙනවා. ඒ අනූව ථේරවාද සම්ප්‍රදායේ විහාර ආරාමයක් මෙම දෙව්නි මෝරි ස්ථානයේ පැවති බවට සාක්ෂි හමුවී ඇතැයි ශිලා ලේඛනයට අනූව පැහැදිලි වනවා.

මංජුසාව, තඹ පෙට්ටිය සහ පූජනීය භෂ්මාවශේෂ යන වටිනා සොයාගැනීම් ත්‍රිත්වය 78 වන නිදහස් දිනයට සමගාමීව 2026 පෙබරවාරි 04 – 11 දක්වා කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී සැදැහැවතුන් වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

විශේෂයෙන්ම මෙම ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් පිටතදී මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරනුයේ ප්‍රථම වරට වීමත්, මෙම ධාතූන් වහන්සේලා ප්‍රථම වරට ප්‍රදර්ශනය කරන රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමත් ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සැබෑ සංකේතයක් ලෙසද සැලකිය හැකියි.

අප දෙරට අතර ආධ්‍යාත්මික සහ සංස්කෘතික සබඳතා පුළුල් කෙරෙන අවස්ථාවක් ලෙස සැලකෙන මෙම ධාතු ප්‍රදර්ශනය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා 2025 අප්‍රේල් මාසයේදී සිදුකළ ශ්‍රී ලංකා සංචාරයේදී දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේලා විශේෂ ප්‍රදර්ශනයක් සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන බවට සිදුකළ පොරොන්දුව මල්පළ ගැන්වීමක් වශයෙන් සැලකිය හැකියි.

කෙසේ වුවද මෙරට බෞද්ධ ජනයාට අතිශය දුලබ අවස්ථාවක් ලෙස උදාවන ගෞතම බුදුන්ගේ ශ්‍රී සර්වඥ ධාතුන් සියැසින් දැක බලාගෙන වැඳපුදා ගැනීමේ අවස්ථාවට සැදැහැ සිතින් යුතුව එක්වන්නට පිං කැමති ඔබ සැමට ආරාධනා.

සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.