ගුවන්විදුලිය නම් ස්වර්ණ සන්නිවේදකයා අපට දැනුනු හැටි
දැනුම් සම්පාදනය , අධ්‍යාත්ම පෝෂණය , උසස් විනෝදය ලගාකිරිම , තොරතුරු සම්පාදනය ආදී ජන මාධ්‍යයකින් විය යුතු සියලුම කාර්යභාරයන් මනාව ඉටුකළ ශ්‍රීලංකාවේ මාධ්‍ය නාමය උස්ව විදහා පෑ ගුවන්විදුලිය නැමැති අසහාය ගුරු භූමිකාවට අදට වසර සියයක් සපිරෙ යි. සරුසාර පුවත් , කවි ගීත සුරල් නොමදව ලගාකළ මේ ගුණ ගනාභරණය කිව හැකි කතා කැටිකර කීමටත් පිටු දහස් ගණනක් ලිවිය හැකි ය. මේ සැරසෙන්නේ ගුවන් විදුලියේ ආරම්භයත් , විකාශනයත් , එයින් කළ ඥාන පෝෂණයත් පිලිබඳව යම් අසම්පූර්ණ සටහනක් තැබීමට ය.
ගමේ හේන වගා කරද්දී , නිවසේ රැදී සිටිද්දී සුවහසක් ජනයාගේ හද බැදි මිතුරා බවට පත්වුනේ ගුවන්විදුලිය යි. රේඩියෝව ගසක් මුල තබා හේනේ වැඩකළ ආකාරය මට තාම මතක යි. උදෑසනම මගේ පියා ගුවන් විදුලිය සුසර කළ විට මට ඇසුනු ඒ ගී මතකය තවමත් මනස පුරා මිහිර පතුරවාල යි. පිණි බිදු මුතු මල් සැනකෙලීයේ අරුණෝදේ දිනකර නැගෙනා..... අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ , සමනොල මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පාය යි.....පිණිබර යාමේ සැවොලන් අඩලනවා , රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පිං බිමේ ....වැනි ගීත ගොන්නක් හිමිදිරියේ ම අසන්නන්ගේ සිත් පහන් කිරිමටත් , ජව සම්පන්න කිරීමටත් සමත් විය. සවස් වන විට මුවන් පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ රස මිහිර වින්දේ ය. කුරුළු බැද්ද , ගුවන්විදුලි රග මඩල වැනි නාට්‍ය අසන්නනට ගුවන්විදුලියක් ඇති නිවසකට පැමිණෙන පිරිස එහි ගියේ එම නිවසට සීනි තේකොළ , විස්කිරිඤ්ඤා වැනි දෑ ද රැගෙන යි. ගුවන් විදුලියේ ඒ තාත්වික හඩ රංගනය අද වන විට නව මාධ්‍ය ප්‍රවේශ හමුවේ යට යමින් පැවතියත් සියවසක් සපිරෙන මොහොතේත් මෙරට ගුවන්විදුලිය ජව සම්පන්නව සිටින්නේ එය ප්‍රාණවත් කරීමට උරදුන් බොහෝ පිරිසකගේ ජනතාභීලාසී ක්‍රියාපිලිවෙත හමුවේ යි.
කර්නේද්‍රීය හරහා මනස පැහැ කළ උන්නතිකාමීන්
අදටත් අප අසන මනසින් නික්ම නොයන අර්ථ හා රස පූර්ණ ගීත දහස් ගණනක උත්පත්ති මන්දිරය වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව බවට අවිවාදිත ය. ගුවන් විදුලි නාට්‍ය ඉතිහාසයේ එය ප්‍රාප්ති මට්ටමට රැගෙන විත් ජන මන හැඩ කළ අග්‍රගන්‍ය ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනකයින් අතර එදිරිවීර සරච්චන්ද්‍ර , වික්ටර් මිගෙල් , ආනන්ද සිරිසේන , කරුණාරත්න අමරසිංහ , දයානන්ද ගුණවර්ධන වැනි චරිත ඇතුළු චරිතාවලියක් නම් කළ හැකි ය. ඇල්ෆ්‍රඩ් පෙරේරා , සැමුවෙල් රුද්‍රිගූ , ඇනස්ලි ඩයස් , බර්ටි ගුණතිලක , ගැමුණු විජේසුරිය වැනි අයගේ ගුවන් විදුලි රංගනයන් තුළින් මතු කළ චිත්ත රූප ඒ හඩ සමගම තවමත් මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයින්ගේ මනස් තුළ රැදී පවතී.
කරුණාරත්න අබේසේකර , චිත්‍රානන්ද අබේසේකර , ආරියදාස පිරිස් , ලලිත් එස්.මෛත්‍රීපාල , සිරිල් රාජපක්ෂ , තේවිස් ගුරුගේ , නිව්ටන් ගුණරත්න , හඩ්සන් සමරසිංහ , විජය කොරයා , ටි.ඩී.කේ .ජයන්ත , තිස්ස ජයවර්ධන ඇතුළු ප්‍රතාපවත් චරිත රැසක් ගුවන් විදුලි පරිපාලනයේ කටයුතු කළේ , මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයක් ඉතිහාසයට එකතු කරමින්.
ගුවන්විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා වූ ඩී.එම්.කොලඹගේ මහතා සිය හඩ අවදි කළේ , “ කොලඹින් කතා කරමි ,, යනුවෙන්. ඒ හඩින් පටන් ගෙන ගුවන් විදුලිය ජන හද ගැහෙනා රාවයක් බවට පත්ව වසර සියයක් ගත කර අදටත් තිර දැල්ලක් වී නොනිවී පවතින්නට සහය වූ ආකර්ශනීය හඩ පෞරුෂාත්මකව අවදි කළ නිවේදක නිවේදකා ලැයිස්තුව ඉතා දිගු වූව කි. ප්‍රේම කීර්ති ද අල්විස් , නිහාල් භාරතී , කේ.ඩී.කේ. ධර්මවර්ධන , එච්.එම් . ගුණසේකර , තිලකා රණසිංහ , චිත්‍රා කුමාරි කළුබෝවිල , පාලිත පෙරේරා , සීලරත්න සෙනරත් , සුමනා ජයතිලක , වැනි අය මෙන්ම ගුවන් විදුලි පරිපාලනයේ සිටි බොහෝ පිරිසක් ද තවත් අය ද එදා මෙදා තුර ගුවන් විදුලියෙන් රස විසුල බව නොදන්නෙක් නොමැත. මෙම පිරිස් දස්කම් දැක්වූයේ නිවේදනයටම පමණක් නොවේ. ගීත රචකයින් , නාට්‍ය නිෂ්පාදකයින් , තිර පිටපත් රචකයින් වැනි ක්ෂේත්‍ර තුළින් ද කැපී පෙනුණු චරිත මේ නාමාවලියට අන්තර්ගත යි. බහු භාෂා හැකියාව , විවිධ නිර්මාණකරණය , ඒ කවරටත් වඩා සමාජ යහපත වෙනුවෙන් කැපවීමේ උනන්දුව මොවුන් තුළ පැවැති බව අවැසි නැති සැබෑවක්.
ගුවන් විදුලිය ඉප දි කෙටි කලෙකින් ලංකාවට එයි
කිසියම් චලන වේගයක ප්‍රතිඵලයක් වන ශබ්ද මාධ්‍ය විද්‍යුත් මාධ්‍යක් බවට හරහා එක් තැනක සිට තවත් තැනකට ශබ්දය ගමන් කරවීමේ භෞතික විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ ප්‍රථම ශ්‍රව්‍ය ජනමාධ්‍ය වන ගුවන්විදුලිය බිහිවි ය. සැමුවෙල් මොර්ස් , ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් , හෙන්රික් හර්ට්ස් , එඩ්වඩ් බ්‍රෙන්ලි , ස්ටොපොව්ච් පොපොව් , ලීඩ් ෆොරස්ට් වැනි උන්නතිකාමින් නාමවලියකගේ ප්‍රයත්නයන් ද කැටුව ලෝකයට ගුවන්විදුලිය හදුන්වා දුන් තැනැත්තා ලෙස විරුදාවලී ලබන්නේ ගුග්ලි එල්මෝ මාර්කෝනි ය. ගෘහස්ථව භාවිත කළ හැකි ගුවන්විදුලි පෙට්ටිය නිර්මාණය කිරීමේ ගෞරවය මාර්කෝනි හිමිකරගත් අතර ඉන් පසුව ජනතාවගේ පුදුමය බවට පත්වුයේ ගුවන්විදුලිය යි. ලෝක යුද්ධ වලින් පසුව මෙහි ව්‍යාප්තිය තව තවත් වැඩිවිය.
ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවැති සමයේ මෙරට ගුවන්විදුලිය ස්ථාපිත කළ අතර ආසියාවේ ප්‍රථම වරට ගුවන්විදුලි සේවයක් ආරම්භ කළේ ද ශ්‍රීලංකාව තුල යි. ලෝකයේ ගුවන් විදුලිය භාවිතයට ගෙන වසර දෙක තුනක් යද්දී එහි අත්දැකීම මෙරටට ලගාකරවීමට කැප වූ තැනැත්තකු වූයේ ඉන්ජිනේරු එඩ්වඩ් හාපර් මහතා යි. ඔහු ආර්.එෆ් . ඩයස් වැනි අය සමග එක්ව ලංකා වයර්ලස් සමාජයේ ද සහය ඇතිව තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පර්යේෂණ ආරම්භ කළේ , මෙරට ගුවන්විදුලිය ස්ථාපිත කිරිම වෙනුවෙනි. ඒ එවක තැපැල්පති එස්.එම්.ශ්‍රේෂ්ඨා මහතාගේ මැදිහත්වීමට ද සහිතව යි. තැපැල් දෙපාර්තමේන්තුවේ කුඩා කාමරයක පර්යේෂණ ආරම්භ කළ අතර ඒ සදහා යුද්ධයේ දී භාවිත කළ ජර්මන් සම්මැරීනයක ගුවන්විදුලි කොටස් උපයෝගී කරගෙක ඇත. ජෝර්ජ් හැරී, හැරල්ඩ් සැමුවෙල් , ඒ.නඩරාජා, බෙනට් විජේතිලක වැනි ඉංජිනේරුවරන් ද මේ සදහා කැපවූහ. පැරණි ග්‍රැමෆෝන් තැටියක් වාදනයට සලස්වා , ඒ ඉදිරියෙන් මයික්‍රෆෝනයක් තබා ප්‍රථම ප්‍රචාරය සිදුකරයි.1924 පෙබරවාරි 24 දා බොරැල්ල තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාව විවෘත කිරිමේ උත්සවයේ දී පැවැති බටහිර සංගීත ප්‍රසංගය ගුවන්විදුලියෙන් ප්‍රචාරය කළේ ය. එම වසරේම ජුනි 27 වන දා එවක ආණ්ඩුකාර විලියම් හෙන්රි මැනිං මහතා ගුවන් විදුලියෙන් කතා කර ඇත. නිල වශයෙන් මෙරට ගුවන් විදුලිය ආරම්භ කරන්නේ 1925 දෙසැම්බර් 16 වන දා යි. ගුවන් විදුලියේ සංවර්ධනයට පවුම් 9000ක් වෙන් කිරිම ද සිදු ව ඇත.
මෙරට ගුවන්විදුලියේ ක්‍රමවත් වර්ධනය
මුලින්ම මෙරට ගුවන්විදුලියේ වැඩසටහන් ප්‍රචාරය වුයේ , දිනකට පැය දෙක බැගින් සතියකට දින දෙකක් පමණි. කාලගුණ වාර්තා , සංගිත සැදැවන් , මාර්ග දත්ත ආදිය එහි දී ප්‍රචාරය විය. එම වැඩසටහන් ප්‍රචාරය වුයේ බ්‍රහස්පතින්දා හා ඉරිදා දිනවල යි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් කොලඹ ශාස්ත්‍රීය ශාලාව වෙත ගුවන් විදුලිය රැගෙන ගිය අතර ටොරින්ටන් ප්‍රදේශයේ ප්‍රචාරක මැදිරි දෙකක් ද ඉදිකළේ ය.
මෙරට ගුවන්විදුලියේ ප්‍රථම සිංහල කතාව වුයේ , 1928 වර්ෂයේ දි පැලෑනේ වජිරඥාන හිමියන් විසින් කළ ධර්මදේශනාවකි. එවක ගුවන්විදුලියේ සේවය කළ අයට වැටුපක් නොගෙ වූ අතර සංග්‍රහ කටයුතු පමණක් ලැබිණි. එම නිසා ඔවුන්ට මුදලක් ගෙවිමට අරමුදලක් ද පිහිටුවා තිබේ. 1931 දී පාසල් පාදකව අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය වීම අරඹා තිබේ. 1932 දී ගුවන්විදුලියේ නිසි පාලනය සදහා පාලක මණ්ඩලයක් ද පත්කරයි. 1935 වර්ෂයේ දී එහි දසවස් සැමරුම සිදුවි ය. ඉන් අනතුරුව එහි ප්‍රචාරක කලාපය පුළුල් කිරිමේ වැඩපිලිවෙල ද අරඹා තිබේ.
1939 වර්ෂය වන විට මෙරට ගුවන්විදුලි 7000කට පමණ බලපත් නිකුත්කර තිබුණි. 1940 වන විට එය 10000 දක්වා වැඩි විය. ගුවන් විදුලියේ ප්‍රගතිය සොයා බැලිමට කේ.වෛද්‍යනාදන් මහතාගේ මුලිකත්වයෙන් කමිටුවක් පත් කළේ ද 1940 වසරේ දී ය. මෙය දෙවන ලෝක සංග්‍රාමය පැවැති කාලය වූ නිසා යුධ හමුදාවේ කටයුතු සදහා “ සියැක් ,, නමින් ගුවන්විදුලියක් අරඹා තිබේ. ගුවන්විදුලි ප්‍රචාරක කාල සිමාව ද පැය දෙකකින් දීර්ග කරන්නට පියවර ගෙන ඇත. 1943- 45 කාලයේ දි ගුවන්විදුලි මාධ්‍යයේ වර්ධනය සදහා මධ්‍යම තරංග විකාශන මධ්‍යස්ථානයක් ද පිහිටුවා ඇත.
නිදහසින් පසුව මෙරට ගුවන්විදුලිය
1948 මෙරටට බ්‍රිතාන්‍යයන් ගෙන් නිදහස ලැබුණු වසර යි. මේ වන විට මෙරට ගුවන්විදුලිය මුළුමනින්ම දේශීය මුහුණුවරක් ගෙන තිබුණි. සක් හඩ, මගුල් බෙර , ඝණ්ටා නාද , ධර්මදේශනා , මහ නා හිමිවරුන්ගේ දේශන , ජන ගී , ජන නාට්‍ය , ආදිය ප්‍රචාරය විය. 1940 අග භාගය වන විට 25000ක පමණ ගුවන්විදුලි බලපත් සංඛ්‍යාවක් නිකුත් කර තිබුණි.
මෙරට ගුවන්විදුලියේ සුවිශේෂී සන්දිස්ථානයක් වන්නේ 1949 වර්ෂයේ දී එය දෙපාර්තමේන්තුවක් බවට පත්වීම යි. 1950 දී වෙළද අරමුණු සහිතව “ වෙළද සේවය ,, පිහිටුව යි. ගුවන්විදුලිය සම්බන්ධ ගැටළු පිලිබද සොයා බැලීමටත් , කාලය දීර්ග කිරිමටත් මුල් තැන දෙමින් වීරසූරිය කමිටුව පිහිටුවන්නේ 1952 වර්ෂයේ දී ය. සිංහල , දෙමළ හා ඉංග්‍රීසි වැඩසටහන් ප්‍රචාරයට , ගුවන්විදුලි පර්යේෂණ ඒකකයක් පිහිටුවීමට මෙම කමිටුව හරහා හැකිවිය. එෆ්.එම්. තරංගමාලා පිලිබදව පර්යේෂණ සිදුකළ අතර ගුවන්විදුලි දෙපාර්තමේන්තුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කළේ ද මේ කාලයේ යි.
1962 දී හුළුල්ල කමිටුව පැමිණේ . මෙයින් ප්‍රවෘත්ති සේවා පාලනය හා ක්‍රියාකාරිත්වය පිලිබදව විශේෂ අවධානය යොමුකරන ලදි. 1966 අංක 37 දරණ ගුවන්විදුලි සංස්ථා පනත සම්මත වීමෙන් පසුව ශ්‍රිලංකා ගුවන්විදුලි දෙපාර්තමේන්තුව, සංස්ථාවක් බවට පත් කෙරිණි.
1970 දශකය යනු මුළු ශ්‍රී ලංකාවටම ගුවන්විදුලිය ඇසෙන කාලයකි. අලුතින් සම්ප්‍රේෂණාගාර ද ස්ථාපනය කළේ ය. ජාතික සංවර්ධනයට වඩාත් උචිත ගුවන්විදුලි සේවාවක් පවත්වා ගැනීම උදෙසා තීරණ ගැනීමට වී.ඩී.ජයසූරිය කමිටුව පත්කරන්නේ ද මේ සමයේ යි. 1971 අප්‍රේල් 08 වන දා මෙරට ගුවන්විදුලියට අධ්‍යක්ෂජනරාල් වරයෙක් ද පත් කළේ ය. 1972 දී සියලු අංශ පිලිබදව සොයාබැලීම සදහා ඒකානායක කමිටුව පත්කර යි. මෙම කාලය සලකන්නේ මෙරට ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය ලෙස යි. ඒ තරමටම ලංකාවේ සංවර්ධනය සදහා ජනතාව දිරි ගැන්වීමේ අභිලාස ඇතිව වැඩසටහන් ප්‍රචාරය කිරිම ගුවන්විදුලිය හරහා සිදුවි ය.
ප්‍රාදේශිය ගුවන්විදුලි සේවා ඇරඹිම
ගුවන්විදුලිය තව තවත් ජනතාවට සමිප කරවිමේ අරමුණ ඇතිව ප්‍රාදේශිය හා ප්‍රජා ගුවන්විදුලි සේවා ඇරඹිම කෙරේ අවධානය යොමු වේ. ඒ සදහා මුලිකව කටයුතු කළේ , එවක ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තේවිස් ගුරුගේ මහතා යි. ඒ ඒ ප්‍රදේශවලට අනුකූල සමාජ සංස්කෘතිය පදනම් කරගනිමින් ප්‍රාදේශීය සේවා ඇරඹිමේ තීරණය ගත් අතර මෙරට ප්‍රථම ප්‍රාදේශීය ගුවන්විදුලිය ලෙස ආරම්භ කළේ , රජරට සේවය යි. ඒ 1979 වර්ෂයේ අප්‍රේල් 12වන දා . එය ජාතික ගුවන් විදුලිය තරම්ම ජන හද දිනාගත්තේ ය. ගොවිතැන , රජරට සංස්කෘතිය පාදක කරගනිමින් වැඩසටහන් ප්‍රචාරය කළ රජරට සේවය අදටත් ජනතාව අතර රැදී සිටින්නේ එවක රජරට සේවය ජනතාවට අතරට ගෙනය යාමට කටයුතු කළ උන්නතිකාමීන් හේතුවෙනි. ස්වර්ණ ශ්‍රී බණඩාර මහතගේ “ පිළේ පැදුර ,, ප්‍රේමකීර්ති ද අල්විස් මහතගේ සැරිසර ආදි වැඩසටහන් වලට ලැබුණු ජනතා හරසර අපමණ යි. රජරට සේවයේ එම ආකෘතිය තවමත් පවත්වාගෙන යමින් ජනතාව අතර රැදී සිටිම අගය කළ යුත්තකි. 1980 වර්ෂයේ දී රුහුණු සේවයත් , 1983 දී කදුරට සේවයත් ඇරඹේ. මෙම සේවවාන් මගින් ප්‍රාදේශිය වශයෙන් සිටින දක්ෂතා ඇත්තවුන්ට කරළියට පැමිණිමට අගනා සේවයක් ඉටුකර ඇත. නිවේදකයින් , ගායක ගායිකාවන් , නාට්‍ය ශීල්පින් , වාදන ශිල්පින් , ඇතුළු බොහෝ නිර්මාණකරුවන්ගේ තිඹිරි ගෙය වූයේ ප්‍රාදේශිය සේවාවන් ය.
ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාවන් ගේ ප්‍රගතියත් සමග තව තවත් ජනතාව අසලට ගුවන්විදුලිය ගෙන යාමට තීරණය කර යි. ප්‍රජා ගුවන්විදුලි සේවාවන් උපත ලබන්නේ ඒ අනුව ය. කිසියම් ජන කොටසකටම පමණක් ආදලව ක්‍රියාත්මක වන ගුවන්විදුලි මාදිලියක් වන මෙය ද සාර්ථකව ස්ථාපිත කෙරිණි. 1981 මහවැලි ප්‍රජා ගුවන්විදුලිය , 1987 මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය , 1991 කොත්මලේ , 1998 පුලතිසිරාවය ආදී වශයෙන් ප්‍රජා ගුවන්විදුලි සේවාවන් ආරම්භ කර යි.
කෙසේ වෙතත් අද වන විට මෙරට ප්‍රජා ගුවන්විදුලි සේවාවන් ක්‍රියාත්මක නොවන තරම් ය. ඌව ප්‍රජා ගුවන්විදුලිය පමණක් ක්‍රියාත්මක වන බවක් දැනගන්නට තිබේ. මීට අමතරව දඹාන එම්.එම්. නමින් ක්‍රියාත්මක වන ගුවන්විදුලිය ගිරාදුරුකෝට්ටේ ක්‍රියාත්මක වේ. එය පෙර ගිරාදුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලිය ලෙස හැදින්විණි.
පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවන් වල පවතින බලපෑම සමග ඇති තරගකාරිත්වය සමග ජාතික ගුවන්විදුලිය යම් පසුබෑමකට ලක් වූ බවක් පෙනෙන්නට තිබුණත් , මෙරට ශ්‍රාවකයින් නිසි සමාජානුයෝජනයකට ලක්කර ගුවන්විදුලිය සංස්කෘතිය තවමත් රැකගෙන සිටින්නේ ජාතික ගුවන්විදුලිය බව කවරුන් වුවත් දැනගත යුතු යි.
.
මෙරට පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ඇරඹීම
1990 වර්ෂයේ දී පිහිටුවන ගුණසේකර කමිටුව මගින් මෙරට පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ඇරඹිම සම්බන්ධයෙන් සොයා බල යි. රටේ ආරක්ෂාව , විදුලි සංදේශ පද්ධතිය , බලපත් ලබාදීමට සුදුසු ආයතන ආදිය කෙරේ අවධානය යොමුකරමින් මෙම කමිටුව ක්‍රියාත්මක විය. මාස දහයක් තිස්සේ කරන ලද අධ්‍යයනයකින් පසුව මෙරට ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකා ඇරඹීමට අනුමැතිය ලැබේ. ඒ අනුව මෙරට ඇරඹි ප්‍රථම පෞද්ගලික ගුවන්විදුලි නාලිකාව වන්නේ සිරස එෆ්.එම්. ගුවන්විදුලිය යි. ලක්හඩ 1996 දී අරඹා ඇත. ටි.එන්.එල්. - පවන වැනි ගුවන්විදුලි නාලිකා ද ආරම්භ වේ. මෙම නාලිකා ආරම්භ කළ මුල් කාලයේ සැබෑ ජනතා අවශ්‍යතා හදුනාගෙන වැඩසටහන් සම්පාදනය කළත් , ක්‍රමයෙන් ජන මනස හුදු විනෝදාස්වාදය සදහාම මෙහයෙවන්නට පටන් ගනී. එය ද සරල බොලද විනෝදාස්වාදයක් බවට කෙමෙන් පත්විය. ජාතික ගුවන්විදුලියේ පැවැති සංවර නිවේදනය බැහැරට ගියේ ය. වෘත්තිමය වශයෙන් නිසි අවබෝධයක් නොමැති ,භාෂාව පිලිබදව නිසි අවබෝධයක් නොමැති පිරිස් ගුවන්විදුලියට ඇතුළු වූහ. ඔවුන් තමන් කටට පැමිණෙන දේ ඔහේ කියවන ලීලාවක් ප්‍රදර්ශනය කරන්නට විය. අද ඇත්තේ එහි උච්ච තත්ත්වයකි. මතුපිටින් මන බදනා ලීලාවක් පවතින නමුත් ගුවනින් නික්මෙන දේ තුලින් ජන මනස සංවර්ධනාත්මක මුහුණුවරකට පොළඹවන බවක් දක්නට ලැබෙන්නේ නැහැ. දැන් ගුවන්විදුලිය ක්‍රියාකරන්නේ ගීත ප්‍රචාරය වන මාධ්‍යක් යැයි ජනතාවට ඒත්තු ගන්වමින්. වානිජ අවශ්‍යතා , තරගකාරිත්වය , ආදිය මත හරසුන් වැඩසටහන් රාශියකින් ශ්‍රීලංකාවේ වත්මන් ගුවන්විදුලිය පිරී පවතී.
.
ගුවන්විදුලියට ඇති අභියෝග
ශ්‍රී ලංකාවේ ගුවන්විදුලියට සිය වසක් සපිරෙන මොහොතේ ඒ වටා අභියෝග රැසක් පවතී. නමුත් ගෝලීය තත්ත්වය විමසීමේ දී නේපාලය , ඉන්දුනිසීයාව , චීනය වැනි රටවල ප්‍රාදේශිය ගුවන්විදුලි සේවාවන් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. චීනය වැනි රටක ග්‍රාමිය ප්‍රදේශවල සංවර්ධනය සදහා ජනතාව දිරිගැන්වීම ගුවන්විදුලිය හරහා නිරන්තරවම සිදුකර යි. නමුත් මෙරට තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී තිබේ. කොටින්ම ගුවන්විදුලිය යල් පැන ගිය , අමතකව යන මාධ්‍යක් බවට පත්ව ඇත.
සරල බොලද ගුවන්දුලි නාට්‍ය හරහා ජන මනස තුළ නිස්සාර පරිකල්පනයන් , චිත්ත රූපයන් නිර්මාණය කරමින් සිටි. ප්‍රචාරය වන ගීත බොහොමයක් ද එවන් අන්දමේ ඒව යි. බොහෝ ශිල්පීන් ද තමන් මාධ්‍ය ගමන් මග ගුවන්විදුලියෙන් ආරම්භ කරන අතර අවසානයේ ඔවුන් නවතින්නේ රූපවාහිනිය හෝ සමාජ මාධ්‍ය සමූහයක් තුල යි.
තව ද රූපවාහිනිය හා සමාජ මාධ්‍ය තුළ පවතින මතුපිට ආකර්ශනය නිසා සාරවත් සිතිවිලි සහිත ජන ප්‍රජාවක් නිර්මාණය වීමේ ඉඩ එයින් ඇහිරී පවතී. වගකීම් සහගත තොරතුරු සම්පාදනය , නිසි අධ්‍යාපනය , උසස් විනෝදය , අධ්‍යාත්ම පෝෂණය යනාදියට මෙම ආකර්ශනිය රූප මාධ්‍ය වලින් මතුව්නනේ ඉතා අඩුවෙනි. මෙම මාධ්‍ය නිසා තමන් කවරෙක් දැයි හදුනාගැනිමට ස්වයං චින්තනය මෙහෙයවිමට පවා ජනතාව නොපෙළඹේ. එනම් රූපවාහිනිය හා සමාජ මාධ්‍ය මගින් එම මාධ්‍යට අවශ්‍ය පරිදි ජන මනස මෙහෙයවමින් සිටී. ඒ නිසා ගුවන්විදුලි ඉද හිට ඇහෙනවා මිසක අවධානයෙන් අසන්නනේ අතලොස්සක් පමණි. නමුත් ගුවන් විදුලිය තරම් මනස තුළ ආයාසයකින් තොරව මනා ගුණයක් නිර්මාණය කළ හැකි තවත් මාධ්‍යක් නැති තරම්.
ගුවන්විදුලියේ පැවැත්ම වෙනුවෙන් කළ හැකි දේ
ගුවන්විදුලිය සම්බන්ධයෙන් ලෝක මට්ටමින් දැනට සිදුකරන නව ක්‍රියාවලීන් අධ්‍යයනය කරමින් එය ජනතාව අතර රදවා ගැනීමේ ප්‍රයත්නයට ඒ සම්බන්ධ බලධාරින් , නිලධාරින් කඩිනමින් පියවර ගත යුතුව තිබේ. එසේ නොමැතිව ගුවන්විදුලියෙන් අලාභයක් සිදුවනවා යැයි කියමින් එය වසා දැමිමේ පහසු ක්‍රියාමාර්ග වලට පැමිණිම කිසි සේත් ම නොකළ යුතු යි. අනෙක් අතින් දැනට ගුවන් විදුලියේ සේවය කරන පිරිස ස්වකීය නිර්මාණශිලිත්වය නව මුහුණුවරකින් ගුවන්විදුලියට එකතු කිරිමට වගබලා ගත යුතු යි.
ලෝකයේ දැනට පවතින තත්ත්වයට අනුව ගුවන්විදුලිය යනු අසන මාධ්‍යක් පමණක් නොව බලන මාධ්‍යක් බවට ද පත්ව තිබේ. චීන ගුවන්විදුලි මාධ්‍ය ජාලය තුළ , බී.බී.සී . සේවය තුළ මෙම ක්‍රමය දැන් අනුගමනය කරමින් සිටි. සමාජ මාධ්‍යයේ සහය නිර්මාණශීලීව යොදාගනිමින් ගුවන්විදුලියේ වැඩසටහන් එම මාධ්‍ය වලින් ප්‍රචාරය කිරීමට අවශ්‍ය පියවර ගැනිම ඉතාමත් වැදගත් . අප දැන් පළමුව කළ යුත්තේ ගුවන් විදුලිය ජන ජනමාධ්‍ය ජනතාවගෙන් අමතක වීම වැලැක්වීම යි. අන්තර්ජාලය හරහා ගුවන්විදුලිය ශ්‍රවණය කිරිමේ අවස්ථාව වැඩි කළ යුතු යි. එමෙන්ම කවර දේටත් වඩා ජනතාවට වැදගත් වන්නේ තොරතුරු දැනගැනිම වන නිසා කඩිනමින් තොරතුරක් ලද හැකි හොදම මාධ්‍ය වන්නේ ගුවන්විදුලිය බව පෙන්වා දිය යුතු යි. සමාජ මාධ්‍ය වල වේගයෙන් තොරතුරු විසරණය වුවත් ඒවායෙහි විශ්වසනීය බව පිළිබද ගැටළු පවතී. සිතෙන දේ නොව ඇත්ත දේ කඩිනමින් ජනතාව අතරට ගෙන යාමේ වගකීම ගුවන්විදුලියෙන් කළ යුතු යි. නිතරම නව තොරතුරක් ලබාදෙමින් ජනතාවට ලං වීම ගුවන්විදුලියේ රැකීමට දැන් ඇති හොදම ක්‍රමය යි. ප්‍රවෘත්ති ප්‍රචාරයට එක් නිශ්චිත වේළාවක් වෙන්කර ගන්නා අතරතුර ලැබෙන ලැබෙන හැම පුවතක්ම එසැනින් ලබාදීමේ කටයුත්තට ගුවන්විදුලිය දැන් පැමිණිය යුතු යි. වාණිජ පරමාර්ථය සිත තබාගෙන කටයුතු කළ හොත් මෙය කිරිම පහසු නැත. හදිසි තත්ත්වයන් ඇතිවන මොහොතක පමණක් නොව පුරුද්දක් ලෙස සෑම අවස්ථාවක දී ම අඛණ්ඩව එම තොරතුරු ලබාදීම ගුවන්විදුලියෙන් කළ යුතු යි.
ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය ගුවන්විදුලි ප්‍රවර්ධනය කර ඒවායින් එම ප්‍රදේශයේ තොරතුරු ජනතාව අතර සෑම මොහොතකම ගෙන යා හැකි මට්ටමක් සැකසිය හැකි යි. මාර්ග විස්තර , කෘෂිකර්ම විස්තර , පොහොර බෙදාහැරීම , පාසල් විස්තර , සෞඛ්‍ය විස්තර ගෙන යා යුතු යි. ප්‍රදේශයක ප්‍රධාන ආයතන වලට පුරුද්දක් ලෙස නිතර කතා කරමින් පණිවුඩ ලබාගෙන එසැනින් ජනතාවට ලබාදීමේ ක්‍රියාවලියකට පිවිසිය යුතු යි. නාට්‍ය , කතා වැඩසටහන් , සගරාමය වැඩසටහන් එතරම් අවධානයකින් ගුවන්විදුලිය හරහා තවදුරටත් ශ්‍රවණය නොකරනු ඇත. ඒ වෙනුවට හොදම ගැලවුම්කරුවා වන්නේ අඛණ්ඩව දෛනික තොරතුරු වාර්තා කිරිම යි. එනම් ප්‍රවෘත්තිමය ගුවන්විදුලියකට ගලාවිය යුතු බව සියලු දෙනා දැනගත යුතු යි. අනෙකුත් සියලු වැඩසටහන් සීමා සහිත කරමින් දෛනික තොරතුරු වාර්තාකරණය වැඩි කිරිම යන්න යි එයින් අදහස් කරන්නේ. මෙරට ගුවන්විදුලියට සියවසක් සපිරෙන මොහොතේ එය කාලීන වශයෙනුත්, ගුණ නොනැසෙන මට්ටමිනුත් යාවත්කාලීන කීරිමට කටයුතු කළ යුතුව පවතී.
සටහන
ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර
දිස්ත්‍රික් මාධ්‍ය කාර්යභාර නිලධාරි
අනුරාධපුරය


