ජගත් කඳුකර දිනය අදයි

ජගත් කඳුකර දිනය අදයි
  • SocialShare:

ජගත් කඳුකර දිනය අදට (11) යෙදි ඇත. මෙවර ජගත් කඳුකර දින තේමාව වනුයේ “කඳුකර ප්‍රදේශවල සහ ඉන් ඔබ්බට ජලය, ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර ජීවනෝපායන් සඳහා ග්ලැසියර”(glaciers for water, food security and sustainable livelihoods in mountain regions and beyond) යන්නයි.

මෑත කාලයේ අප මුහුණ දුන් දරුණුම ස්භාවික ව්‍යසනය “කඳු නාය යෑම ” වන අතර අද (11) විශේෂයෙන් රටක් ලෙස වැදගත් ජාත්‍යන්තර දිනයකි.

ඉහළ කඳුකර පෙදෙස්වල පාංශු සංරක්ෂණයේ කාලීන අවශ්‍යතාවය මෙන්ම අනවසර ඉදිකිරීම් තුලින් පරිසරයට වන හානිය ගැන වඩාත් අවධානය යොමු කළ යුතු දිනයකි. අඩි පන්දාහට ඉහළ කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරිමට ජනාධිපතිතුමා ගත් තීරණය රටේ මධ්‍ය කඳුකරයේ හදවත බඳු කඳුපන්ති ආරක්ෂා කිරීමට ගත් ප්‍රයෝගික ප්‍රවේශයකි.

ලෝකයේ ජෛවවිවිධත්ව උණුසුම් කලාප ආසන්න වශයෙන් භූමි ප්‍රමානයෙන් ¼ ක පමණ පවතින අතර ඒවා කඳුකරය ආශ්‍රිතව පවති.කඳුකරය බොහෝ ශාක සහ සත්ව විශේෂ වල වාසස්ථාන ලෙස ක්‍රියා කරයි.
ලෝක ජනගහනයෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ජලය, ආහාර හා පිරිසිදු ශක්ති ප්‍රභවයන් ලබා ගැනීම සඳහා කඳුවැටි උපයෝගි කරගනු ලබයි. බිලියන එකක් පමන ප්‍රජාව කඳුවැටි ප්‍රදේශයන්හි ජීවත්වනු දැකිය හැකි වේ.
කඳුකරය භූගත ජලය හා ගංඟා උල්පත් සඳහා මනා රැකවරණයක් ලබා දෙමින් ජීවින්ගේ පැවැත්මට මනා පිටිවහලක් ලබාදෙයි.

කඳුකරයේ පවතින විශේෂිත පාරිසරික ලක්ෂණ වන දේශගුණික සාධක සහ භූගෝලීය සාධක හේතුවෙන් එම ප්‍රදේශවලවලට සුවිශේෂී වු සත්ව විශේෂ හමුවන අතර ඉන් වැඩි ප්‍රමාණයක් ආවේනිකතාව පෙන්නුම් කරන අතර ජීවී විශේෂ සංඛ්‍යාවද ඉහළ අගයක් ගනී.

පාරිසරික සහ ජෛව සම්පත් සඳහා මෙන්ම කෘෂිකාර්මීක, සංචාරක ,පතල්, ජල විදුලි වැනි අංශ සඳහා ඳ ලෝකයේ කඳුකර ප්‍රදේශ ඉතා විශාල දායකත්වයක් ලබා දේ. ඒ අනුව කඳුකරය පාරිසරික මෙන්ම ආර්ථික වශයෙන්ද වැදගත් මෙහෙයක් ඉටු කරනු ලබයි.

සමස්ථ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද කඳුකරය සැලකූ කල එය අපට පාරිසරික හා ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් වේ. ඉතා චමත්කාර වුත් ජෛවවිවිධත්වයෙන් හා ආර්ථික වශයෙන් ද වැදගත් වුත් ලෝකයේ පිහිටා ඇති සමස්ථ කඳුකර ප්‍රදේශයම විවිධ වු හේතුන් නිසා තර්ජනයට ලක් වෙමින් පවති.

විවිධ ආක්‍රමණශිලී ජීවි විශේෂ පැතිරීම, නිසි කළමනාකරණයෙන් තොරව සිදු කරන කෘෂිකාර්මික කටයුතු නිසා පස, ජලය වායු දුෂණය,දේශගුණ විපර්යාස, නිසි පාරිසරික ඇගයීමකින් තොරව සිදුකරන විවිධ සංවර්ධන ව්‍යාපෘති, සම්පත් අධිපරිභෝජනය, ස්වාභාවික විපත් මගින් කඳුකරයේ ඇති සුවිශේෂි ජෛවවිවිධත්වයට කඳුකරය අශ්‍රිතව ඇති ස්වාභාවික සම්පත් වලට මෙන්ම කඳුකර ප්‍රජාවන් වෙත ඉතා අහිතකර බලපෑම් හා පීඩනයන් ඇති කරමින් පවතී.
මෙම සියළු කරුණු සැලකිල්ලට ගෙන සොබාදහම හා ජීවින්ගේ පැවැත්ම කෙරෙහි කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම තුලින් විවිධ ප්‍රතිලාභ අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2002 වසරේ සිට දෙසැම්බර් මස 11 වන දිනය අන්තර්ජාතික කඳුකර දිනය ලෙස නම් කරන ලදී.