2023 වසරේ ආරම්භ කළ අස්වැසුම වැඩසටහනට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් (දුක්ගැනවිලි කළමනාකරණ) ආශාන් දර්ශක මහතා පවසයි.
දෙවැනි අදියරේ අස්වැසුම දීමනා ගෙවීම් සම්බන්ධයෙන් අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
2023 වසරේ පළමු අදියර යටතේ සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ හතර යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ ගෙවීම් සිදුකර තිබේන බවද සඳහන් කළේය.
තවද , 2025 අප්‍රේල් මාසයේදී සංක්‍රාන්තික කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 315,000කට ප්‍රතිලාභ ගෙවීම් නතර කර ඇති අතර අවදානමට ලක්වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000කට මෙම වසරේ ජූනි මාසයේදී ගෙවීම් නතර කර ඇති බව ද ඔහු පැවසීය.
එම කාණ්ඩ දෙක තුළ සිටින පවුල් අතර දුප්පත් හෝ අන්ත දිළිඳු තත්ත්වයට පත්ව සිටින පවුල් ඒකක ඇත්නම් තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය මත පදනම්ව නැවත අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබිය හැකි බව ඒ් මහතා සඳහන් කළේය.
සංක්‍රාන්තික සහ අවදානමට ලක්වූ කාණ්ඩවල ප්‍රතිලාභීන් සඳහා මේ දක්වා ගෙවීම් සිදුකර ඇත්තේ වසර දෙකකට පෙර ලබාගත් තොරතුරු මත පදනම්ව බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.මේ වනවිට එම පවුල්වල සමාජ හා ආර්ථික තත්ත්වයන් වෙනස් වී තිබිය හැකි බැවින් නව තොරතුරු සලකා බලා සුදුසුකම් ඇති අය නැවත ප්‍රතිලාභ ක්‍රමයට ඇතුළත් කිරීමේ අවස්ථාව සලසා දී ඇතැයි ද පැවසුවේය.
මේ වනවිට අදාළ පිරිස් තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු සිදුකරමින් සිටින අතර සංගණන නිලධාරීන් වෙත නව තොරතුරු ලබාදීමද සිදුවෙමින් පවතන බවද සඳහන් කළේය. එම තොරතුරු මත ලබාගන්නා ලකුණු අනුව නැවත අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමයට ඇතුළත් වීමේ හැකියාව පවතින බව ද ඔහු පැවසීය.
රටේ සමාජ හා ආර්ථික තත්ත්වයන් අනුව ප්‍රතිලාභීන්ගේ තත්ත්වය වෙනස් විය හැකි බැවින් අස්වැසුම යනු කිසිදු පුද්ගලයෙකුට ජීවිත කාලය පුරා ලබාදෙන ප්‍රතිලාභයක් නොවන බවද සහකාර කොමසාරිස්වරයා අවධාරණය කළේය.
සැබවින්ම ප්‍රතිලාභ අවශ්‍ය පුද්ගලයන් කිසිවෙකුත් මඟ නොහැර, සුදුසුකම් ඇති සියලු දෙනාටම අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ සහන ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


