2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවන බව අපනවන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ඒසේම මෙම වසරේ මැයි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයනය සියයට 18.3ක් සහ සේවා අපනයනය සියයට 18.6ක් බවද ඒ් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා රේගුව මගින් නිකුත් කරන ලද තාවකාලික දත්ත සහ මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මෙරට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,393.39 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙය 2025 වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව සියයට 7.5 ක වර්ධනයක් බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම කාලසීමාව තුළ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,758.44 ක් වූ අතර එය සියයට 7.63 ක වැඩිවීමකි. සේවා අපනයන අංශය ද සියයට 7.31 ක වර්ධනයක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,634.95 ක ආදායමක් උපයා ඇත.
2026 මැයි මාසයේදී පමණක් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,570.64 ක් දක්වා ළඟා වූ අතර, එය 2025 මැයි මාසයට සාපේක්ෂව සියයට 18.34 ක කැපී පෙනෙන වාර්ෂික වර්ධනයක් බවද ඒ් මහතා පෙන්වා දේ.


