2026 අපොස උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදිම අගොස්තු 10 වෙනිදා ඇරඹේ

2026 අපොස උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදිම අගොස්තු 10 වෙනිදා ඇරඹේ
  • SocialShare:

2026 වසරේ අපොස උසස් පෙළ විභාගය සැලසුම් කළ පරිදිම අගෝස්තු 10 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේ හමුවකට එක්වෙමින් කොමසාරිස්වරිය සඳහන් කළේ 2025.09.14 වනදා නිවේදනය කළ පරිදි 2026 වසර සඳහා වූ විභාගය අගෝස්තු 10 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා පැවැත්වෙන බවයි.

එම විභාගයේ කාලසටහන 2025.09.14 දින ප්‍රකාශයට පත් කර ඇති අතර, රසායන විද්‍යාව එක පත්‍රය සහ රසායන විද්‍යාව දෙක පත්‍රය අතරට සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය යෙදීම හේතුවෙන්, පසුගිය වසරේ විභාගය පැවැති ආකාරයටම පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ඇය සඳහන් කළාය.

2026 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වනදා පැවැත්වෙන බවත්, නියමිත දිනට විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් ඇය සඳහන් කළාය.

එමෙන්ම, 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම මාර්තු 30 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා සිදු කළ බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 ශ්‍රේණියේ සිසුන් සඳහා 2026 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා අයදුම්පත් 2026 ජුනි 22 සිට ජූලි 16 දක්වා මාර්ගගතව භාර ගනු ලැබේ.

සියලුම අයදුම්පත් පාසල් විදුහල්පතිවරුන් හෝ ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවත්, අපේක්ෂකයින්ට තනි තනිව අයදුම් කළ නොහැකි බවත් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

විදුහල්පතිවරුන් www.doenets.lk හෝ www.onlinexams.gov.lk/eic නිල වෙබ් අඩවිවලට පිවිස, උපදෙස් හොඳින් කියවා, මාර්ගගත පද්ධතිය හරහා පමණක් අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. රජයේ සහ පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන් දැනටමත් ඔවුන්ට ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කළ යුතුය.